සෙම්ප්‍රතිශ්‍යාවෙන් ගෙදර විවේකයෙන් සිටින ප්‍රෞඪ රෝගියෙකු
සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ගෙදර විවේකයෙන් සිටින රෝගියෙක්. බොහෝ දෙනා දින 5–7 ක් ඇතුළත විශ්වේකය සහ ප්‍රමාණවත් දියර වර්ග පානයෙන් සම්පූර්ණයෙන් සුව වේ. | Designed by Freepik
වෛද්‍ය සෙනෙත් ගජසිංහ, MBBS MD
ලිව්වේ සහ සමාලෝචනය කළේ
MBBS (Col) · MD (Col) · SLMC No. 27329 · Sineth Hospitals
🩺 වෛද්‍ය සමාලෝචිතයි 📅 යාවත්කාලීන: මාර්තු 2026 🕐 විනාඩි 5 ක කාලයකින් කියවිය හැකිය

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව යනු කුමක්ද?

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව (Common Cold) යනු නාසය සහ උගුර ආශ්‍රිත ඉහළ ශ්වසන පද්ධතියේ ඇති වන මෘදු වෛරස් ආසාදනයකි. මෙය ලොව පුරා වැඩිහිටියන් අතර බහුලවම දක්නට ලැබෙන රෝගී තත්ත්වයන්ගෙන් එකක් ලෙස සැලකේ.

සාමාන්‍යයෙන් නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකු වසරකට දෙතුන් වතාවක් පමණ සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු විය හැක. එය තරමක් අපහසුදායක තත්ත්වයක් වුවද, සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් හට මෙයින් බරපතල සංකූලතා ඇති වන්නේ ඉතා කලාතුරකිනි.

බොහෝ විට සෙම්ප්‍රතිශ්‍යාව යනු ස්වයංසිද්ධව සුව වන (Self-limiting) රෝගයකි. එනම්, සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ආසාදනය පාලනය කරන බැවින්, විශේෂිත ඖෂධ ප්‍රතිකාරවලින් තොරව වුවද දින කිහිපයකින් ස්වාභාවිකවම සුවය ලැබීමේ හැකියාව පවතී.

💡
මතක තබාගත යුතු ප්‍රධාන කරුණු
  • 🦠ප්‍රතිජීවක භාවිතය: සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන්නේ වෛරස් (Viruses) මගින් වන අතර, එය වෛරස් ආසාදනයක් බැවින් බැක්ටීරියා නාශක වන ප්‍රතිජීවක (Antibiotics) මගින් සුව කළ නොහැක. ආසාදනය මර්දනය කරනු ලබන්නේ සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගිනි.
  • ⚠️ද්විතීයික ආසාදන: කලාතුරකින් සෙම්ප්‍රතිශ්‍යාවට අමතරව ද්විතීයික බැක්ටීරියා ආසාදන (උදා: සයිනසයිටිස් (Sinusitis) හෝ කන් ආශ්‍රිත ආසාදන) ඇතිවිය හැක. එවැනි අවස්ථාවක ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය විය හැකි නමුත්, ඒ පිළිබඳ තීරණය ගත යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු පමණි.
  • 🔍රෝග විනිශ්චය: සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ පෙන්වන වෙනත් රෝගාබාධ ද තිබිය හැක. විශේෂයෙන් ඉන්ෆ්ලුවෙන්සාව, ඩෙංගු, COVID-19 සහ ඇතැම් අසාත්මිකතා (Allergies) මුල් අවධියේදී සෙම්ප්‍රතිශ්‍යාව ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත.
  • 👨‍⚕️වෛද්‍ය උපදෙස්: රෝග ලක්ෂණ ඉතා දැඩි නම්, හදිසියේ උත්සන්න වේ නම් හෝ සාමාන්‍ය සුවවීමේ රටාවෙන් බැහැරව පවතී නම්, වෙනත් රෝගී තත්ත්වයක් නොවන බව තහවුරු කරගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.

සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ

ආසාදනයට ගොදුරු වූ දා සිට දින 1–2 ක් ඇතුළත රෝග ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් ඇතිවේ. ඒවා අතර:

💧 හොටු ගැලීම
🤧 නාසයේ තද ගතිය
🤧 කිවිසුම් යෑම
🔴 උගුරේ වේදනාව
😮 කැස්ස
🤕 හිසරදය
🦴 ඇග පත රිදීම
😴 වෙහෙස / තෙහෙට්ටුව
🌡️ මද උණ ගතිය
👅 රස / ගඳ දැනීම අඩු වීම
සුවය ලැබෙන කාලසීමාව — බොහෝ රෝග ලක්ෂණ දින 5–7 ක් ඇතුළත සුව වේ. කැස්ස හෝ නාසයේ තද ගතිය ටිකක් දිගු කාලයක් පැවතිය හැකිය — එය සාමාන්‍ය දෙයක් වන අතර, කලබල විය යුතු කාරණයක් නොවේ.

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමට හේතු

සෙම්ප්‍රතිශ්‍යාව බොහෝ විට ඇති වන්නේ වෛරස් (Viruses) ආසාදනය වීමෙනි. විවිධ වර්ගයේ වෛරස් රාශියක් මගින් සමාන රෝග ලක්ෂණ මතු කළ හැකි බැවින්, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා පමණක් වෙන්වූ තනි එන්නතක් නොමැත.

සෙම්ප්‍රතිශ්‍යාව ඇති කිරීමට ප්‍රධාන වශයෙන් බලපාන වෛරස් වර්ග කිහිපයකි:

  • 🦠 රයිනෝ වෛරස් (Rhinovirus): බහුලවම දක්නට ලැබෙන වර්ගයයි.
  • 🦠 කොරෝනා වෛරස් (Coronaviruses): COVID-19 නොවන සාමාන්‍ය ප්‍රභේද.
  • 🦠 වෙනත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් වර්ග.
⚠️
විශේෂ අවධානයට: මෙය වෛරස් ආසාදනයක් බැවින්, ඖෂධ මගින් සෘජුවම වෛරසය විනාශ කර රෝගය සුව කළ නොහැක. එහිදී සිදු වන්නේ ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ස්වාභාවිකවම වෛරසය පරාජය කිරීමයි. එබැවින්, ප්‍රතිකාර ලබා දීමේ මූලික අරමුණ වන්නේ රෝග ලක්ෂණ සමනය කර ඔබට සහනයක් ලබා දීමයි.

රෝගය ව්‍යාප්ත වීම සහ වැළැක්වීම

වෛරසය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වන්නේ:

  • 💨 වාතය මගින්: රෝගියෙකු කැසීමේදී හෝ කිවිසුම් යැවීමේදී පිටවන ක්ෂුද්‍ර ජල බිඳිති හරහා.
  • 🤚 ස්පර්ශය මගින්: වෛරසය රැඳී ඇති මතුපිටවල් ස්පර්ශ කිරීමෙන්.
  • 🧼 වැළැක්වීමේ ක්‍රම: නිතර සබන් යොදා අත් සේදීම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානම අඩු කර ගැනීමට ඇති වඩාත්ම ඵලදායී ක්‍රමයයි.
සෙම්ප්‍රතිශ්‍යාවෙන් සිටින රෝගියෙකු උණුසුම් පාන වර්ග ගන්නා ආකාරය
රෝගී තත්ත්වයේදී ආහාර රුචිය අඩුවීම සාමාන්‍ය ස්වභාවයකි. කෙසේ වෙතත්, සිරුර විජලනය වීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ලෙස දියර වර්ග ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ — පිරිසිදු ජලය, උණුසුම් සුප් වර්ග, ඖෂධීය පාන (Herbal Tea) හෝ නැවුම් පළතුරු යුෂ ගැලපේ. එක්වර විශාල ප්‍රමාණයක් පානය කිරීමට අපහසු නම්, දවස පුරා වරින් වර කුඩා ප්‍රමාණවලින් හෝ ගැනීමට වගබලා ගන්න. | Designed by Freepik

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා නිවසේදීම කළ හැකි ප්‍රතිකාර

බොහෝ වැඩිහිටි රෝගීන්ට සෙම්ප්‍රතිශ්‍යාව සඳහා නිවසේදීම ආරක්ෂිතව ප්‍රතිකාර කළ හැකිය. සිරුරට අවශ්‍ය මූලික සහාය ලබා දීම මෙහිදී ප්‍රමාණවත් වේ.

  • 😴 ප්‍රමාණවත් විවේකයක් ලබා ගන්න: ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩාත් කාර්යක්ෂමව ආසාදන මර්දනය කරන්නේ ඔබ විවේකීව සිටින විටය.
  • 💧 දියර වර්ග වැඩිපුර පානය කරන්න: වතුර, උණුසුම් සුප් සහ ඖෂධීය පාන ශරීරයට අවශ්‍ය ජලය ලබා දෙයි, විජලනය නවත්වයි.
  • 🍽️ පෝෂ්‍යදායී ආහාර ගන්න: ආහාර රුචිය අඩු වුවද, සිරුරේ ශක්තිය පවත්වා ගැනීම සඳහා සුළු වශයෙන් හෝ පෝෂ්‍යදායී ආහාර නිතිපතා ලබා ගන්න.
  • 💊 රෝග ලක්ෂණ සමනය කිරීම: වේදනාව හෝ අපහසුතාව පවතී නම්, රෝග ලක්ෂණ සමනය කිරීමට සරල ඖෂධ භාවිතා කළ හැකිය.
  • 🤧 නාසය පිරිසිදු කිරීම: නාසයේ අවහිරතා මගහරවා ගැනීමට සේලයින් නාසික බිංදු (Saline Nasal Drops) හෝ ස්ප්‍රේ වර්ග භාවිතා කළ හැකිය.
  • 🧼 රෝග පැතිරීම වැලැක්වීම: වෛරසය අන් අයට පැතිරීම වැළැක්වීම සඳහා නිතර සබන් යොදා අත් සෝදන්න.

වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය නොවන අවස්ථා

පහත සඳහන් සියළු කරුණු අදාළ වන්නේ නම්, සාමාන්‍යයෙන් නිවසේදී විවේක ගැනීම ප්‍රමාණවත් වන අතර විශේෂ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවේ:

✅   රෝගී වී තවමත් දින 3-5 කට වඩා ගත වී නොමැති නම්.
✅   තද උණ නොපවතී නම්.
✅   හුස්ම ගැනීමේ අපහසුවක් නොමැති නම්.
✅   ආහාර සහ ජලය සාමාන්‍ය පරිදි ලබා ගත හැකි නම්.
✅   සමේ පලු හෝ බිබිලි (Rashes) හටගෙන නොමැති නම්.
✅   ඇදුම, හතිය (Wheezing) හෝ වෙනත් නිදන්ගත ශ්වසන රෝග ඉතිහාසයක් නොමැති නම්.
✅   දෛනික ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි කරගෙන යාමට හැකි නම්.

රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා උපකාර වන ඖෂධ සහ ඒවා භාවිතයට උපදෙස්

සෙම්ප්‍රතිශ්‍යාව සෘජුවම සුව කළ හැකි ඖෂධ නොමැති වුවද, ශරීරය වෛරසය සමඟ සටන් කරන කාලය තුළ ඔබට දැනෙන අපහසුතා අවම කර ගැනීමට පහත ඖෂධ භාවිතා කළ හැකිය. (මෙහි දැක්වෙන්නේ වෛද්‍ය සෙනෙත් ගජසිංහ මහතාගේ මාර්ගෝපදේශ ඇසුරෙන් සකස් කළ සාරාංශයකි).

රෝග ලක්ෂණය ඖෂධය සාමාන්‍ය මාත්‍රාව විශේෂ සටහන
නාසයෙන් සොටු දියර ගැලීම Cetirizine 10 mg දිනකට වරක් (උදෑසන හෝ රාත්‍රියේ) නිදිමත ගතිය අවම බැවින් දිවා කාලයේ භාවිතයට ද සුදුසුය.
නාසයේ තද ගතිය / අවහිර වීම Saline Nasal Drops හෝ Spray අවශ්‍යතාව අනුව දිනකට කිහිප වරක් වුව භාවිත කල හැක ඖෂධ රහිත බැවින් ආරක්ෂිතයි; නාසය පිරිසිදු කිරීමට සහ තෙතමනය රැකීමට උපකාරී වේ.
කැස්ස Deriphyllin 150 mg උදෑසන සහ රාත්‍රියේ ශ්වාසනාලය විස්තාරණය කරන (Bronchodilator) ඖෂධයක් බැවින් කැස්ස අඩු කර හුස්ම ගැනීමේ පහසුව ඇති කරයි.
මෘදු උණ සහ සිරුරේ වේදනාව Paracetamol 1000 mg (මි.ග්‍රෑ. 500 පෙති 2ක්) අවශ්‍යතාව අනුව (මාත්‍රා දෙකක් අතර අවම පැය 6ක පරතරයක් තබන්න) පැය 24ක් තුළ මාත්‍රා 4කට වඩා නොගන්න. හිස්බඩ ගැනීමෙන් වළකින්න.

ස්ටීරොයිඩ් (Steroids) භාවිතය පිළිබඳ වැදගත් සටහනක්

ස්ටීරොයිඩ් යනු ප්‍රබල ඖෂධ කාණ්ඩයක් බැවින් ඒවා භාවිතයේදී ඉතා සැලකිලිමත් විය යුතුය. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව/ වෛරස් ආසාදන සඳහා ස්ටෙරොයිඩ් භාවිතය වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ නොකරයි. කෙසේ වෙතත්, රෝග ලක්ෂණ සමනය සඳහා ස්ටිරොයිඩ් භාවිතා කරන්නේ නම් ප්‍රභාලතව අඩු ස්ටීරොයිඩ් වර්ගයක් අඩු මාත්‍රාවකින් භාවිත කල යුතුය.

⚠️
ස්ටෙරොයිඩ් මාත්‍රාව: Prednisolone 10 mg හෝ Dexamethasone 1 mg (උදෑසන සහ රාත්‍රියේ). පැහැදිලි වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රබල ස්ටෙරොයිඩ් වර්ග හෝ ඉහළ මාත්‍රාවන් කිසිවිටෙකත් භාවිත නොකරන්න.

විටමින් C (Vitamin C)

සෙම්ප්‍රතිශ්‍යාව පවතින විට විටමින් C ගැනීම පොදු පුරුද්දක් වුවද, එහි රෝගය සුව කිරීමේ හැකියාව පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි සීමිතය. බොහෝ දුරට Placebo effect එක වෙනුවෙන් භාවිත වේ. කෙසේ වෙතත්, මෙය දිනකට 2-3 වතාවක් පෙත්ත බැගින් ගැනීම හානිකර නොවේ.

⏱️
ඖෂධ කොපමණ කාලයක් ගත යුතුද? මෙම ඖෂධ මගින් සිදු කරන්නේ රෝග ලක්ෂණ පාලනය කිරීම පමණි. රෝගය සුව කිරීමක් සිදු නොවේ. එබැවින් රෝග ලක්ෂණ පවතින තාක් පමණක් ඖෂධ භාවිතා කර, සුවය දැනෙන විට ඒවා නතර කළ හැකිය. (ඖෂධ නියමිත කාලයකට ගැනීම අනිවාර්ය නොවේ).
🚫
වැදගත් සිහිකැඳවීම: ඔබට කිසියම් ඖෂධයකට අසාත්මිකතා (Allergies) පවතී නම් හෝ වෙනත් නිදන්ගත රෝග ඇත්නම්, ඉහත සඳහන් සරල ඖෂධ පවා භාවිත කිරීමට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ප්‍රතිජීවක සහ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව

ප්‍රතිජීවක (Antibiotics) වෛරස්වලට එරෙහිව ක්‍රියා නොකරන අතර, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන්නේ වෛරසයක් මගිනි. එබැවින් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිජීවක ලබා ගැනීමෙන් ඔබට ඉක්මනින් සුවයක් නොලැබේ.

කලාතුරකින්, සයිනස් ආසාදනයක් (Sinus infection) හෝ මැද කනෙහි ආසාදනයක් (Middle ear infection) වැනි බැක්ටීරියා ආශ්‍රිත සංකූලතාවයක් වර්ධනය වුවහොත් ප්‍රතිජීවක අවශ්‍ය විය හැකිය. නමුත් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකදී මෙය බහුලව සිදු නොවේ.

💡
ප්‍රතිජීවක නිසි ලෙස භාවිතය (Antibiotic stewardship) පිළිබඳ සටහනක්: ඔබට ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කරන්නේ නම්, ඒවා අවශ්‍ය වන්නේ ඇයිදැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසා දැනගැනීම බුද්ධිමත් වේ. පැහැදිලි හේතුවක් නොමැති නම්, සාමාන්‍ය බැක්ටීරියා සංකූලතාවයක් සඳහා Amoxicillin 500 mg දිනකට තෙවරක් වැනි සරල ප්‍රතිජීවකයක් සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වේ. අනවශ්‍ය ලෙස ප්‍රබල ප්‍රතිජීවක භාවිත කිරීම මුදල් නාස්තියක් වනවා සේම, වඩාත් වැදගත් වන්නේ අනාගතයේදී ඔබ බරපතල ලෙස රෝගාතුර වූ විට එම ඖෂධවල ඵලදායීතාව අඩු වීමයි. මෙය ලොව පුරා පවතින සෞඛ්‍ය ගැටලුවක් වන 'ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව' (Antibiotic resistance) ලෙස හැඳින්වේ.
⏱️
ප්‍රතිජීවක භාවිත කළ යුතු කාලසීමාව: ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සමනය කරන ඖෂධ මෙන් නොව, බැක්ටීරියා ආසාදනයක් සඳහා වෛද්‍යවරයා නිර්දේශ කළ ප්‍රතිජීවක ඖෂධ මාත්‍රාව, ඔබට ඉක්මනින් සුවයක් දැනුණද නියමිත කාලය පුරා (Full course) සම්පූර්ණයෙන් ලබාගත යුතුය. ඖෂධ ලබා ගැනීම වේලාවට පෙර නතර කළහොත් බැක්ටීරියා නැවත වර්ධනය වීමට ඉඩ ඇත.

වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කවදාද?

බොහෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් ස්වාභාවිකවම සුව වුවද, පහත දැක්වෙන අනතුරුදායක ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය ආධාර ලබාගන්න:

  • 🌡️ අධික හෝ දිගුකාලීන උණ: විශේෂයෙන්ම පැරසිටමෝල් භාවිත කළද උණ අඩු නොවේ නම්.
  • 🫁 හුස්ම ගැනීමේ අපහසුව: හෝ පපුවේ දැඩි තද ගතිය.
  • 😰 අධික දුර්වලතාව: ඇඳෙන් නැගිටීමට හෝ දෛනික කටයුතු කිරීමට අපහසු වන තරමට ශරීරය දුර්වල වීම.
  • 🍽️ ආහාර හෝ දියර ලබා ගැනීමට නොහැකි වීම: විශේෂයෙන් පැය 24කට වඩා වැඩි කාලයක්.
  • 🔴 සමේ පලු හෝ ලප: සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ සමඟ සමේ පලු මතුවීම.
  • 📅 දින 10කට වඩා පවතින රෝග ලක්ෂණ: කිසිදු සුවයක් නොලබා රෝග ලක්ෂණ දිගටම පවතී නම්.
  • 😣 මුහුණේ දැඩි වේදනාව: සයිනස් ආසාදනයක ලක්ෂණයක් විය හැකිය.
  • 👂 කන්වල වේදනාව: මැද කනෙහි ආසාදනයක (Otitis media) ලක්ෂණයක් විය හැකිය.
  • 🫁 වර්ණවත් සෙම සමඟ කැස්ස උත්සන්න වීම: පෙනහළු ආසාදනයක (Chest infection) ලක්ෂණයක් විය හැකිය.
🚨
වහාම හදිසි ප්‍රතිකාර ලබාගන්න: ඔබට හුස්ම ගැනීමේ දැඩි අපහසුවක්, පපුවේ වේදනාවක්, සිහිමද ගතියක් හෝ අවදිව සිටීමට අපහසු බවක් දැනේ නම්, ප්‍රමාද නොවී වහාම රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකය වෙත යොමු වන්න.

බහුලව අසන ප්‍රශ්න (FAQ)

බොහෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් දින 5–7 ක් ඇතුළත සුව වේ. කෙසේ වෙතත්, කැස්ස හෝ නාසයේ තද ගතිය තවදුරටත් මඳ කාලයක් පැවතිය හැකි අතර එය සාමාන්‍ය තත්ත්වයකි. රෝග ලක්ෂණ සුව නොවී දින 10කට වඩා පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුය.
නැත. සෙම්ප්‍රතිශ්‍යාව ඇති වන්නේ වෛරස් (Viruses) මගිනි. ප්‍රතිජීවක ක්‍රියා කරන්නේ බැක්ටීරියා ආසාදන සඳහා පමණක් වන අතර වෛරස්වලට එරෙහිව ඒවා බලපෑමක් ඇති නොකරයි. ප්‍රතිජීවක අනවශ්‍ය ලෙස භාවිත කිරීමෙන් ඔබ ඉක්මනින් සුව නොවනවා සේම, ශරීරයට අහිතකර අතුරු ආබාධ ද ඇති විය හැක. ඒවා වැදගත් වන්නේ ද්විතීයික බැක්ටීරියා ආසාදනයක් ඇති වූ විට පමණි.
තද උණ නොමැති නම් සහ රෝග ලක්ෂණ මෘදු මට්ටමක පවතී නම්, බොහෝ වැඩිහිටියන්ට දෛනික කටයුතුවල නිරත විය හැකිය. කෙසේ වෙතත්, අන් අයට රෝගය පැතිරීම වැළැක්වීමට පහත පියවර අනුගමනය කරන්න:
  • නිතර අත් සෝදන්න.
  • කැසීමේදී හෝ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ආවරණය කරගන්න.
  • කුඩා දරුවන්, වැඩිහිටියන් හෝ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් සමඟ සමීපව ගැවසීමෙන් වළකින්න.
දෙකම ශ්වසන පද්ධතියේ ආසාදන වුවද, ඉන්ෆ්ලුවෙන්සාව හදිසියේ ඇති වන අතර ඉහළ උණ, දරුණු ශරීර වේදනාව සහ අධික විඩාව එහි ලක්ෂණ වේ. සෙම්ප්‍රතිශ්‍යාව සාමාන්‍යයෙන් මෘදු වන අතර ක්‍රමයෙන් වර්ධනය වේ; මෙහිදී නාසයෙන් සොටු දියර ගැලීම හෝ නාසයේ අවහිරතාව ප්‍රධාන වේ. ඔබට ඇත්තේ කුමන තත්ත්වයදැයි සැක සහිත නම් වෛද්‍යවරයෙකු හමුවන්න.
ඔව්. සෙම්ප්‍රතිශ්‍යාව ඇති කළ හැකි වෛරස් වර්ග රාශියක් පවතී. එක් වෛරසයකින් ලැබෙන ප්‍රතිශක්තිය තවත් වර්ගයකට බලපාන්නේ නැත. එබැවින් වසරක් පුරා නැවත නැවතත් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන බව ඔබට හැඟෙන්නට පුළුවන.
නැත. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන්නේ වෛරසයක් ශරීරගත වීමෙන් මිස සීතල ජලය හෝ වැස්ස නිසා නොවේ. කෙසේ වෙතත්, සීතල කාලගුණය පවතින විට මිනිසුන් වැඩිපුර නිවෙස් තුළ සමීපව රැඳී සිටින බැවින් වෛරසය පැතිරීම වේගවත් වේ. එසේම සීතල කාලගුණයේදී නාසයේ ශ්ලේෂ්මල පටලවල තෙතමනය අඩු වීම වෛරස් ඇතුළු වීමට පහසුවක් විය හැක.
රෝග ලක්ෂණ පවතින්නේ නාසයෙන් දියර ගැලීම හෝ මෘදු උගුරේ අමාරුවක් වැනි ගෙලෙන් ඉහළ ප්‍රදේශයේ පමණක් නම්, මෘදු ව්‍යායාමවල යෙදීම ගැටලුවක් නොවේ. නමුත් උණ, ශරීර වේදනාව හෝ අධික විඩාව පවතී නම් ව්‍යායාම කිරීමෙන් වැළකී සිරුරට විවේකය ලබා දෙන්න.
වඩාත් ඵලදායී ක්‍රම වන්නේ:
  • සබන් යොදා නිතර අත් සේදීම (හෝ Alcohol-based sanitizer භාවිතය).
  • රෝගීන් සමඟ සමීපව ගැවසීමෙන් වැළකීම.
  • අපිරිසිදු දෑතින් ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ නොකිරීම.
  • ප්‍රමාණවත් නින්දක් ලැබීම, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ක්‍රියාශීලීව සිටීම.
විටමින් C මගින් සෙම්ප්‍රතිශ්‍යාව සුව වන බවට ඇති විද්‍යාත්මක සාක්ෂි සීමිතය. සමහර අධ්‍යයනවලට අනුව එය රෝගය පවතින කාලය සුළු වශයෙන් අඩු කළ හැකි නමුත් එහි ප්‍රතිලාභය ඉතා සාමාන්‍ය/ අඩු මට්ටමක පවතී. විටමින් C භාවිතය ආරක්ෂිත වුවද, එය සෙම්ප්‍රතිශ්‍යාව සුව කරන හෝ වළක්වන ඖෂධයක් ලෙස සැලකිය නොහැක.
💚
වෛද්‍ය ගජසිංහ මහතාගේ අවසාන පණිවිඩය

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව යනු ඉතා සුලභ මෙන්ම බොහෝ විට මෘදු ස්වභාවයක් ගන්නා රෝගී තත්ත්වයකි. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකු වසරකට දෙතුන් වතාවක් පමණ සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු විය හැක. බොහෝ අවස්ථාවලදී සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් දින කිහිපයක් ඇතුළත රෝගය ස්වාභාවිකවම සුවපත් කරනු ලබයි.

එබැවින් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා සරල නිවෙස් පිළියම් අනුගමනය කිරීම සහ රෝග ලක්ෂණ සමනය කිරීමට අදාළ ඖෂධ නිවැරදිව භාවිත කිරීම ප්‍රමාණවත් වේ. අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ලබා ගැනීමට උත්සාහ නොකර, ඔබේ සිරුරේ පවතින ස්වාභාවික සුව කිරීමේ හැකියාව කෙරෙහි විශ්වාසය තබන්න.