කැස්සෙන් පෙළෙන රෝගියෙකු — කැස්ස රෝගයක් නොව, රෝග ලක්ෂණයකි
කැස්ස — ශ්වසන මාර්ගයේ ඇති ගැටළුවකට ශරීරය දක්වන ස්වාභාවික ප්‍රතිචාරයකි. | Sineth Hospitals
වෛද්‍ය සෙනෙත් ගජසිංහ, MBBS MD
ලිව්වේ සහ සමාලෝචනය කළේ
MBBS (Col) · MD (Col) · SLMC No. 27329 · Sineth Hospitals
🩺 වෛද්‍ය සමාලෝචිතයි 📅 යාවත්කාලීන: මාර්තු 2026 🕐 විනාඩි 6 ක කාලයකින් කියවිය හැකිය

කැස්ස යනු කුමක්ද?

කැස්ස කියන්නේ ඉතා බහුලව ඇතිවන, අප නිතරම වගේ අත්විඳින සෞඛ්‍ය ගැටළුවක්. නමුත් බොහෝ දෙනෙකුට නොතේරෙන ඉතාම වැදගත් කරුණක් ඇත.

👉
ඉතා වැදගත් කරුණක් කැස්ස කියන්නේ රෝගයක් නොව, රෝග ලක්ෂණයක් පමණයි. එය ඔබගේ උගුර, ශ්වසන මාර්ගය හෝ පෙනහළු වල ඇති කිසියම් ගැටළුවකට ශරීරය දක්වන ප්‍රතිචාරයකි.

මෙම කාරණය වැදගත් වන්නේ ඇයි?

  • කැස්සට පමණක් බෙහෙත් කිරීම බොහෝ වෙලාවට ප්‍රමාණවත් නැහැ.
  • ඔබට කැස්ස ඇතිකිරීමට හේතු වූ රෝගයක් තිබේ නම්, එය හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුයි.
  • කැස්සට ගන්න බෙහෙත් වලින් රෝගය සුව කරන්නේ නැහැ.
  • එම බෙහෙත් රෝගය සුව වීමට ගතවන කාලය අඩු කරන්නේත් නැහැ.

කැස්ස ඇති කරන හේතු

  • 🦠
    වෛරස් ආසාදන — සාමාන්‍ය හෙම්බිරිස්සාව, උෂ්ණ සෙම්ප්‍රතිශ්‍යාව
  • 🧫
    බැක්ටීරියා ආසාදන
  • 🫁
    හතිය (ඇස්මා රෝගය)
  • 🌿
    අසාත්මිකතා (ඇලර්ජී)
  • 🔥
    අම්ල පිත්තාබාධය (Acid Reflux)
  • 🚬
    දුම්පානය

කැස්ස හා සම්බන්ධ තත්ත්ව 3ක්

තත්ත්වය 1
කැස්සට හේතු වූ රෝගය හදුනාගත හැකි, එයට ප්‍රතිකාර කළ හැකි
උදාහරණ: බැක්ටීරියා ආසාදන, හතිය (ඇස්මා)
👉 ප්‍රධාන වශයෙන් රෝගයට ප්‍රතිකාර කළ යුතුයි.
✔ කැස්සෙන් ඇතිවන අපහසුව, කැස්සට බෙහෙත් බොන එකේ කරදරයට වඩා වැඩි නම් — කැස්සට බෙහෙත් ගන්න පුළුවන්.
තත්ත්වය 2
කැස්සට හේතු වූ රෝගය හදුනාගත හැකි, නමුත් එම රෝගයට ප්‍රතිකාරයක් නැහැ
උදාහරණ: වෛරස් ආසාදනයෙන් ඇතිවන ශ්වසන රෝග
👉 මේවා සාමාන්‍යයෙන් ඉබේම සුව වේ — අපගේ ශරීරය මගින්ම වෛරසය මරා දමයි.
✔ කැස්ස නින්දට බාධා කරනවා නම් හෝ දෛනික කටයුතු වලට බාධා නම් — කැස්සට බෙහෙත් භාවිතා කළ හැකිය.
තත්ත්වය 3
කැස්සට පැහැදිලි හේතුවක් හමුවෙන්නේ නැහැ
👉 මෙවැනි අවස්ථා බහුලව තිබෙනවා. එවැනි විටක කැස්ස කොපමණ කාලයක් පවතීද යන්නත් කලින් කිව නොහැකිය.
✔ කැස්සෙන් ඇතිවන අපහසුව, කැස්සට බෙහෙත් බොන එකේ කරදරයට වඩා වැඩි නම් — කැස්සට බෙහෙත් ගන්න පුළුවන්.
ඉතා වැදගත් පණිවිඩය — හොඳින් මතක තබාගන්න 👉 කැස්ස කියන්නේ රෝග ලක්ෂණයක්.
👉 කැස්සට ගන්න බෙහෙත්: ❌ රෝගය සුව කරන්නේ නැහැ · ❌ රෝගය පවතින කාලය අඩු කරන්නේත් නැහැ · ✔ කැස්ස පමණක් අඩු කරයි.

ඒ නිසා සිතන්න: කැස්ස ඔබට කොපමණ කරදරයක්ද? කැස්සට බෙහෙත් ගන්න එකේ වියදම, අසීරුකම සහ අතුරු ආබාධ — මෙය ඔබ ගත යුතු තර්කානුකුල තීරණයකි...... ඔබට වඩා වාසි කුමක්ද?

ඔබ වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කවර අවස්ථාවේදීද?

  • 📅
    කැස්ස සති 2–3 කට වඩා දිගටම පවතින විට
  • 🩸
    කැස්ස සමඟ ලේ පිටවන විට
  • 😮‍💨
    හුස්ම ගැනීමට අපහසුතාවක් ඇති වීම
  • 🌡️
    අධික උණ හෝ දවස් කීපයක් පවතින උණ
  • 💔
    පපුවේ වේදනාව
  • ⚖️
    ශරීරයේ බර අඩුවීම

බෙහෙත් නොවන (පළමු පියවර) ක්‍රම

මෙවා ආරක්ෂිතයි — මුලින්ම මෙම ක්‍රම උත්සාහ කරන්න.

✅ උණුවෙන් බොන බීම වර්ග

උණු වතුර, තේ, සුප් — නිතර පානය කරන්න.

✅ මීපැණි

වැඩිහිටියන්ට: තේ හැදි 1–2 පමණ ප්‍රමාණයක් (5–10 ml). විශේෂයෙන් රෑට ලබා දීම වඩා යෝග්‍ය වේ.

⚠️
වයස අවුරුදු 1 ට වඩා අඩු ළමුන් සඳහා මීපැණි ලබා නොදිය යුතුයි.

✅ හුමාලය ඇල්ලීම / ආශ්වාසය (Steam Inhalation)

මිනිත්තු 10–15ක්, දිනකට දෙතුන් වරක්.

⚠️
අවධානයයි — ආරක්ෂිතව සිදු කරන්න:
  • වාෂ්ප නිසා පිළිස්සීම් සිදුවීම අප සිතනවාට වඩා බහුලයි.
  • ඉතා උණු නටන වතුර භාවිතා නොකරන්න.
  • ශරීරය සහ උණු වතුර නිපදවන උපකරණ අතර අවශ්‍ය දුර තබාගන්න.
  • ළමයින්ට මෙම ප්‍රතිකාරය ලබා දෙන විට වැඩිහිටි අධීක්ෂණයෙන් තොරව සිදු නොකරන්න.

✅ ලුණු වතුර gargle කිරීම

තේ හැදි බාගයක් ලුණු, යන්තම් රස්නේ උණු වතුරෙ දිය කර, දිනකට 2–3 වරක් gargle කරන්න.

✅ විවේකය සහ ජලය

විවේකයෙන් සිටීම සහ ජලය අවශ්‍ය ප්‍රමාණයෙන් පානය කිරීම ඉතා වැදගත් වේ.

✅ හිස ඉහළින් තබා ගැනීම

නිදා ගන්නා විට කැස්ස ඇති වන්නේ නම් වැඩිපුර කොට්ටයක් තැබීම වැනි ක්‍රමයකින් හිස ඉහළින් සිටින සේ තබා ගන්න.

බෙහෙත් ගැනීමට පෙර — කැස්ස වර්ගය හඳුනා ගන්න

කැස්ස ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි: සෙම කැස්ස සහ වියළි කැස්ස.

🔵 සෙම කැස්ස (Wet Cough)
  • කැස්ස සමඟ සෙම පිටවේ
  • කහින විට බොල් බොල් හඩක් ඇසේ
  • පපුව තද වී ඇති ගතිය
🟡 වියළි කැස්ස (Dry Cough)
  • කැස්ස සමඟ සෙම පිටවෙන්නේ නැහැ
  • බොල් බොල් හඩක් නැත
  • උගුරේ වියළි ගතිය හෝ තුවාල ගතිය
⚠️
වැදගත් අනතුරු ඇඟවීම
  • පහත බෙහෙත් වයස අවුරුදු 18 ට වැඩි අය සඳහා පමණයි.
  • ළමයින් සඳහා වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිතා නොකරන්න.
  • ඔබට බෙහෙත් / ආහාර වලට අසාත්මිකතා ඇතිනම් — වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිදු බෙහෙතක් බාවිතා කරන්න එපා.
  • දැනටමත් වෙනත් බෙහෙත් ලබා ගන්නේ නම් — ඖෂධ අතර ඇතිවිය හැකි අහිතකර ප්‍රතික්‍රියා ගැන වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
  • එකම ගැටළුවට ප්‍රතිකාර කීපයක් සඳහන් කර ඇති විට — ඉන් එකක් පමණක් භාවිතා කරන්න.

2. සෙම කැස්ස — ප්‍රතිකාර

👉 ප්‍රතිකාරයේ අරමුණ: සෙම බුරුල් කර ඉවත් කිරීම.

🔹 Carbocisteine (Solmux)

මෙම බෙහෙත මගින් සිදු කරන්නේ: තද වී ඇති සෙම බුරුල් කිරීම සහ සෙම පහසුවෙන් පිටවීමට උදවු කිරීම.

භාවිතා කරන්නේ භාවිතා නොකරන්නේ
✔ සෙම කැස්සට ❌ වියළි කැස්සට
ස්වරූපය මාත්‍රාව (වැඩිහිටියන්)
පෙති / කරල් — මුලදී 750 mg දිනකට 3 වරක්
පෙති / කරල් — පසුව 500 mg දිනකට 3 වරක්
බෙහෙත් පැණි 10–15 ml දිනකට 3 වරක්

🔹 Bromhexine

ඖෂධයමාත්‍රාව
Bromhexine8 mg දිනකට 3 වරක්

🔹 Ambroxol

ඖෂධයමාත්‍රාව
Ambroxol30 mg දිනකට 2–3 වරක්
⚠️
වැදගත්: සෙම කැස්ස අඩු කිරීමට හෝ යටපත් කිරීමට උත්සාහ නොකරන්න. සෙම ඉවත් වීම සඳහා කැස්ස අවශ්‍ය වේ.

3. වියළි කැස්ස (Dry Cough) — ප්‍රතිකාර

👉 අරමුණ: කැස්ස අඩු කිරීම හෝ යටපත් කිරීම.

🔹 Dextromethorphan

මෙම බෙහෙත කරන්නේ කැස්ස ඇති වීම අඩු කිරීමයි.

භාවිතා කරන්නේ භාවිතා නොකරන්නේ
✔ වියළි කැස්සට
✔ විශේෂයෙන් කැස්ස සැළකිය යුතු බාධාවක් ඇති කරන විට
❌ සෙම කැස්ස ඇති විට
ස්වරූපයමාත්‍රාව
පෙති10–20 mg පැය 6–8 කට වරක්
සංයුක්ත කැස්ස පැණි5–10 ml දිනකට 2–3 වරක්
💡
ෆාමසිවල සංයුක්ත කැස්ස පැණි වර්ග ඇත. ඒවා භාවිතයේදී ලේබලය හොඳින් කියවන්න හෝ ෆාමසියේ කාර්යමණ්ඩලයෙන් අඩංගු ඖෂධ ගැන විමසා දැනගන්න.

ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ගැන වැදගත් කරුණක්

ප්‍රතිජීවක ඖෂධ කිසිවිටක කැස්සට ප්‍රතිකාරයක් නොවේ.
  • වෛරස් මගින් සෑදෙන රෝග වලටද ප්‍රතිජීවක ප්‍රයෝජනවත් නොවේ.
  • බොහෝ කැස්ස ප්‍රතිජීවක ඖෂධ නැතුවම සුව වේ.
ප්‍රතිජීවක භාවිතා කළ යුත්තේ:
වෛද්‍යවරයෙකු විසින් ඔබගේ කැස්සට හේතු වන රෝගය බැක්ටීරියා ආසාදනයක් කියා හඳුනාගත් විට පමණයි.

අවසාන පණිවිඩය

👉
කැස්ස = රෝග ලක්ෂණයකි
✔ ප්‍රථමයෙන්ම කැස්සට හේතුවක් තිබේදැයි විමසන්න.
✔ කැස්සට දෙන බෙහෙත් → රෝගය සුව කිරීමට උදවු නොවේ, කැස්සේ අපහසුව අඩු/නැති කිරීම පමණක් සිදු කරයි.

👉 ඔබෙන් ඔබම අහන්න:
"මේ කැස්සට බෙහෙත් ගන්න තරම් කැස්සෙන් මට කරදරයක් තියෙනවාද?"

නිතර අසන ප්‍රශ්න (FAQ)

නැහැ. කැස්ස කියන්නේ රෝගයක් නොව, ශරීරයේ ඇති වෙනත් ගැටළුවක් නිසා ඇතිවන රෝග ලක්ෂණයකි.
නැහැ. ඒවා කැස්ස අඩු / නැති කරනවා පමණයි. රෝගය සුව කරන්නේ නැහැ, රෝගය පවතින කාලය අඩු කරන්නේත් නැහැ.
කැස්ස:
  • නින්දට බාධා කරනවා නම්
  • දෛනික වැඩ වලට බාධා කරනවා නම්
  • කැස්සෙන් ඇති කරදරය, කැස්සට බෙහෙත් ගැනීමේදී ඇතිවන කරදරයට වඩා පැහැදිළිවම වැඩි නම්
බොහෝ අවස්ථාවල නැහැ. වෛරස් ආසාදනවලින් ඇතිවන රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ වැඩක් නැහැ.
Carbocisteine (Solmux), Bromhexine, Ambroxol වැනි සෙම බිද හෙලන, තුනී කරන බෙහෙත් භාවිතා කළ හැකිය.
Dextromethorphan වැනි cough suppressants භාවිතා කළ හැකිය.
සාමාන්‍යයෙන් ආරක්ෂිතයි. නමුත් පිළිස්සීම් වීමට ඉඩ ඇති නිසා සැලකිලිමත් විය යුතුයි. ළමයින් හුමාලය අල්ලන විට වැඩිහිටි අධීක්ෂණය අත්‍යවශ්‍යයි.
  • සති දෙක තුනකට වඩා දිගු කාලයක් පවතින විට
  • හුස්ම ගැනීමේ අපහසුතා තිබේ නම්
  • කැස්ස සමඟ ලේ පිට වන විට