හදිසි ගැබ් ගැනීම වළකවන පෙති — Postinor-1 සහ Postinor-2 ශ්‍රී ලංකාවේ ෆාමසිවල ලැබේ
හදිසි උපත් පාලන පෙති — ශ්‍රී ලංකාවේ බොහෝ ෆාමසිවලින් බෙහෙත් තුන්ඩුවක් නොමැතිව මිල දී ගත හැකිය. | Sineth Hospitals
වෛද්‍ය සෙනෙත් ගජසිංහ, MBBS MD
ලිව්වේ සහ සමාලෝචනය කළේ
MBBS (Col) · MD (Col) · SLMC No. 27329 · Sineth Hospitals
🩺 වෛද්‍ය සමාලෝචිතයි 📅 යාවත්කාලීන: මාර්තු 26, 2026 🕐 විනාඩි 5 ක කාලයකින් කියවිය හැකිය

ගැබ් ගැනීම් වළක්වන හදිසි ප්‍රතිකාර යනු මොනවාද?

හදිසි ප්‍රතිකාර (emergency contraception / hadisi prathikara) යනු ආරක්ෂා රහිත ලිංගික සම්බන්ධයකට (unprotected sex) පසුව අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළකා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම සමූහයයි — හදිසි පෙත්ත, Ulipristal සහ Copper IUCD ඇතුළුව.

👉
ඉතා වැදගත් කරුණු 2ක් ✔ හදිසි පෙත්ත ගැබ් ගැනීම වළකයි — දැනටමත් ගෙන ඇති ගැබ් ඉවත් (ගබ්සා කිරීමක්) නොකරයි.
✔ මෙය හදිසි අවස්ථා සඳහා පමණි — නිතිපතා ගන්නා ගැබ් ගැනීම වළකවන ක්‍රමයක් ලෙස භාවිතා නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේ වඩාත්ම භාවිතා වන හදිසි ගර්භ නිවාරණ පෙති වන්නේ Postinor-1 සහ Postinor-2 වේ. මේ දෙකම levonorgestrel නම් ඖෂධ ද්‍රව්‍ය අඩංගු වන අතර, ශ්‍රී ලංකාවේ බොහෝ ෆාමසිවලින් බෙහෙත් තුන්ඩුවක් නොමැතිව ලබාගත හැකිය.

භාවිතා කළ යුත්තේ කුමන අවස්ථාවලදීද?

  • උපත් පාලන ක්‍රමයක් නොමැතිව ගර්භණී වීමේ බලාපොරොත්තුවක්ද නොමැතිව ලිංගික සම්බන්ධතාවයක යෙදීමෙන් පසු
  • භාවිතා කළ කොන්ඩමය කැඩුණ / ගැලවුණ / වැරදියට භාවිතා කළ අවස්ථාවල
  • උපත් පාලන පෙති ගැනීමට අමතක වූ අවස්ථාවක ලිංගික සම්බන්ධතාවක යෙදීමෙන් පසු
  • ලිංගික සම්බන්ධතාවයේදී භාවිතා කළ උපත් පාලන ක්‍රමය නිවැරදිව ක්‍රියාකළාදැයි සැක සහිත අවස්ථාවල
  • ලිංගික අතවරයකට ලක්වූ විට
ඉක්මන් වන්න — ඉක්මන් වන තරමට ඵලදායකතාව වැඩි වේ හැකි ඉක්මනින් ගත යුතුය. ප්‍රමාද වන තරමට ඵලදායකතාව අඩු වේ.

Postinor-1 සහ Postinor-2 — ෆාමසිවලින් නම කියා මිලදී ගත හැක

Levonorgestrel යනු ශ්‍රී ලංකාව තුළ බහුලවම භාවිතා වන හදිසි ගැබ් ගැනීම් වළකන ඖෂධයයි. Postinor-1 (පෙති 1ක්) සහ Postinor-2 (පෙති 2ක්) ලෙස ෆාමසිවලින් මිලදී ගත හැක.

නම ප්‍රමාණය ගැනීමේ ක්‍රමය කාල සීමාව
Postinor-1 1.5 mg levonorgestrel
(පෙති 1ක්)
පෙත්ත එකවරම ගන්න ලිංගික එක්වීමෙන් පසු පැය 72 (දින 3) ඇතුළත
Postinor-2 0.75 mg × පෙති 2ක් පළමු පෙත්ත ගෙන, පැය 12 කට පසු ඊළඟ පෙත්ත ගන්න
(හෝ දෙකම එකවර ගත හැකිය)
Postinor-1 සහ Postinor-2 දෙකෙහිම මුළු බෙහෙත් ප්‍රමාණය සමානය (1.5 mg). ඵලදායකතාව සමානය ගන්නා ආකාරය පමණක් වෙනස්.

ක්‍රියා කරන්නේ කෙසේද?

  • ඩිම්බය නිදහස් වීම (ovulation) ප්‍රමාද කරයි — ගැබ් ගැනීම වළකයි
  • ශුක්‍රාණු සහ ඩිම්බය හමුවීම වළකයි
ගබ්සා කිරීමේ පෙත්තක් නොවේ දැනටමත් පිළිසිදගෙන ඇති ගැබ් ඉවත් (ගබ්සා කිරීමක්) නොකරයි අළුතින් ගැබ් ගැනීම පමණක් වළකයි

ඵලදායකතාව

  • පැය 24 ඇතුළත ගත්විට — ඉතා ඵලදායකයි (95% පමණ)
  • ⚠️
    පැය 48 දී — 85% පමණ ඵලදායකයි
  • ⚠️
    පැය 72 දී — 58% පමණ ඵලදායකයි

ඒ නිසා ඉක්මන් වීම ඉතා වැදගත් — ප්‍රමාද වන තරමට ඵලදායකතාව අඩු වේ.

අතුරු ආබාධ (සාමාන්‍යයෙන් එතරම් බරපතල නැත)

ඇතිවිය හැකි අතුරු ආබාධ:

  • 🤮
    වමනය
  • 🤢
    වමනය වගේ හැඟීම (ඔක්කාරය)
  • 🤕
    හිසරදය
  • 💫
    කරකැවිල්ල
  • 🫁
    පියයුරු වල වේදනාව
  • 📅
    ඔසප් චක්‍රය වෙනස්වීමක් ඇතිවිය හැකිය
👉
මෙම අතුරු ආබාධ බොහෝවිට ඉබේම සුව වේ.
⚠️
පෙත්ත පානය කිරීමෙන් පසු වමනය කළොත්?
→ පෙත්ත පානය කර පැය 2–3ක් ඇතුළත වමනය සිදු වුවා නම් නැවත එම පෙත්ත / මාත්‍රාව පානය කරන්න.

වෙනත් හදිසි ගැබ් ගැනීම් වළක්වන ක්‍රම

Ulipristal

  • ලිංගික එක්වීමෙන් පසු පැය 120 (දින 5) දක්වා ගත හැකිය
  • Postinor ට වඩා ප්‍රමාද අවස්ථාවේ ඵලදායකයි
⚠️
ශ්‍රී ලංකාවේ සොයාගැනීම අපහසුය — ෆාමසිවල පහසුවෙන් හමු නොවේ.

ලූපය / තඹ IUCD (Copper Loop)

  • වෛද්‍යවරයෙකු හෝ සෞඛ්‍ය නිලධාරියෙකු විසින් ඇතුළත් කළ යුතුය
  • ලිංගිකත්වයෙන් පසු දින 5 ඇතුළත ඇතුළත් කළ හැකිය
  • ඵලදායකම හදිසි ගැබ් ගැනීම වළකවන ක්‍රමය
  • ඇතුළත් කළ පසු දිගුකාලීන ගැබ් ගැනීම වළකවීමේ ක්‍රමයක් ලෙසද භාවිතා කළ හැකිය

මතක තබා ගත යුතු වැදගත් කරුණු

මෙම හදිසි ප්‍රතිකාර පෙති (ලූපය හැර) නිතිපතා ගත හැකි ගැබ් ගැනීම වළකවන ක්‍රම නොවේ හදිසි පෙත්ත හදිසි අවස්ථා සඳහා පමණි. නිතරම බාවිතා කිරීම හොඳ නැහැ — නිතිපතා ගන්නා ගැබ් ගැනීම වළකවන ක්‍රමයකට සාමාන්‍ය උපත් පාලන පෙති, උපත් පාලන එන්නත්, IUCD හෝ වෙනත් ක්‍රමයක් ගැන වෛද්‍යවරයෙකු සමඟ සාකච්චා කරන්න.
මේවා ගබ්සා කිරීමේ පෙති නොවේ හදිසි ගැබ් ගැනීම් වළකවන ප්‍රතිකාර වේ — නව ගැබ් ගැනීම් පමණක් වළකයි. දැනටමත් ගෙන ඇති ගැබ් ඉවත් (ගබ්සා කිරීමක්) නොකරයි. ගබ්සා කිරීම (abortion) සඳහා වෙනස් ප්‍රතිකාර ක්‍රම භාවිතා වේ.
ලිංගාශ්‍රිත රෝග / HIV වලින් ආරක්ෂාවක් ලබා නොදේ Postinor හෝ වෙනත් හදිසි ගැබ් ගැනීම් වළක්වන ක්‍රම HIV, ගොනෝරියා, සිෆිලිස් සහ වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වලින් ඔබව ආරක්ෂා නොකරයි.

ඉක්මන් තීරණ මාර්ගෝපදේශය

ආරක්ෂා රහිත ලිංගික එක්විමකට පසු ඉක්මනින් නිවැරදි පියවර ගන්නේ කෙසේද:

1
ආරක්ෂා රහිත ලිංගික එක්වීමක් සිදු වූවාද? → ඉක්මනින් ක්‍රියා කරන්න. බලා නොසිටින්න.
2
දින 3 (පැය 72) ඇතුළතද?Postinor-1 හෝ Postinor-2 ගන්න. ශ්‍රී ලංකාවේ බොහෝ ෆාමසිවලින් බෙහෙත් තුන්ඩුවකින් තොරව ලැබේ.
3
දින 3–5 (පැය 72–120) ද?තඹ IUCD ඇතුළත් කිරීමට (ඵලදායකම ක්‍රමය) වෛද්‍යවරයෙකු හෝ සෞඛ්‍ය නිලධාරියෙකු හමුවන්න. Ulipristal සොයාගත හැකි නම් එයද සලකා බලන්න.
4
දින 5 කට වඩා ගෙවී ඇත්නම්, නැතිනම් ඔසප් ප්‍රමාද නම්?ගැබ් ගැනීමේ පරීක්ෂණයක් (pregnancy test) කර වෛද්‍යවරයෙකු හමුවන්න.

වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා

  • 📅
    ඔසප් වීම / මාසික සුද්ද වීම නියමිත දිනට වඩා සතියකට වඩා ප්‍රමාද වූ විට
  • 🤕
    තද බඩේ කැක්කුමක් ඇති නම්
  • භාවිතා කළ ක්‍රමය ගැන සැකයක් ඇති නම්
  • 💊
    නිතිපතා උපත් පාලන ක්‍රමයක් සොයන්නේ නම්

නිතර අසන ප්‍රශ්න (FAQ)

ඔව්. ශ්‍රී ලංකාවේ බොහෝ ෆාමසිවලින් බෙහෙත් තුන්ඩුවක් නොමැතිව ලබාගත හැකිය — නගරවල හා ගම්වල ද ලැබේ.
Postinor-1 = පෙත්ත 1ක් (1.5 mg) — එකවරම ගත යුතුය.
Postinor-2 = පෙති 2ක් (0.75 mg × 2) — පළමු පෙත්ත ගෙන, පැය 12 කට පසු ඊළඟ පෙත්ත ගත යුතුය (හෝ දෙකම එකවර ගත හැකිය).

දෙකෙහිම ඵලදායකතාව සමාන — ගන්නා ආකාරය පමණයි වෙනස්.
නැහැ. හදිසි පෙත්ත අළුතින් ගැබ් ගැනීම පමණක් වළකයි. දැනටමත් ගෙන ඇති ගැබ් ඉවත් (ගබ්සා කිරීමක්) නොකරයි. ගබ්සා කිරීමේ පෙති යනු (abortion pill) සම්පූර්ණයෙන් වෙනස් ප්‍රතිකාර ක්‍රමයකි.
හැකි ඉක්මනින් — ඉක්මන් වන තරමට ඵලදායකතාව වැඩි වේ. Postinor: පැය 72 (දින 3) ඇතුළත ගත යුතුය. ඉක්මනින්ම ගන්නා තරමට වඩා හොඳය.
නැහැ. හදිසි උපත් පාලන පෙති (ලූපය හැර) හදිසි අවස්ථා සඳහා පමණි. නිතිපතා ගන්නා උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතා නොකළ යුතුය — ඵලදායකතාවය අඩුය, ශරීරයට ද සුදුසු නැහැ. සුදුසු නිතිපතා උපත් පාලන ක්‍රමයක් තෝරාගැනීමට වෛද්‍යවරයෙකු හමුවන්න.
ඔසප්වීම සති 1 කට වඩා ප්‍රමාද නම් ගැබ් ගැනීමේ පරීක්ෂණයක් (pregnancy test) සිදු කර වෛද්‍යවරයෙකු හමුවන්න. Postinor ගැනීමෙන් පසු ඔසප්වීම ඉක්මන් හෝ ප්‍රමාද වීම සාමාන්‍ය ය — නමුත් ප්‍රමාදය සතියකට වඩා වැඩි නම් ඒ ගැන සැලකිලිමත් වන්න.