ගර්භණී සමයේ PPBS පරීක්ෂණය — ශ්‍රී ලංකාවේ ගර්භ රැකවරණ සේවාවේ ස්ක්‍රීනිං පරීක්ෂාවක් ලෙස ලියාපදිංචි චෙකප් හිදී සහ ගර්භ සති 24–28 හිදී සිදු කෙරේ.
රචිත හා සමාලෝචිත
MBBS (Col) · MD (Col) · SLMC No. 27329 · වෛද්‍ය අධ්‍යක්ෂ, සිනෙත් හොස්පිටල්ස්
🩺 වෛද්‍ය සමාලෝචිත
📅 යාවත්කාලීන: අප්‍රේල් 2026
🕐 විනාඩි 5
🔬 දළ විශ්ලේෂණය
ගර්භණී සමයේ සිදු කරන PPBS පරීක්ෂණය යනු කුමක්ද?
PPBS (Postprandial Blood Sugar — ආහාරයෙන් පසු රුධිරයේ සීනි) පරීක්ෂාව යනු ආහාරය ගැනීම ආරම්භ කර පැය 2 කට පසු ලබා ගත් රුධිර සාම්පලක ග්ලූකෝස් (සීනි) ප්‍රමාණය මනින පරීක්ෂාවකි. ගර්භණී සමයේ, ශරීරය ආහාරයෙන් ලැබෙන සීනි පාලනය කරන ආකාරය ඇගයීමට මෙම PPBS පරීක්ෂණය ප්‍රයෝජනවත් වේ.
ගර්භණී නොවන රෝගීන් සඳහා PPBS පරීක්ෂණය භාවිතා කෙරෙන ආකාරය PPBS පරීක්ෂණය — ප්‍රධාන ලිපිය මගින් සවිස්තරාත්මකව ආවරණය කර ඇත. මෙම ලිපිය ගර්භණී සමයේ සිදු කරන PPBS පරීක්ෂණය සම්බන්ධයෙනි.
ℹ️
ගර්භණී සමයේ සිදු කරන PPBS පරීක්ෂණය ගැන වෙනම ලිපියක් අවශ්‍ය ඇයි? ගර්භණී සමයේ PPBS ඉලක්ක අගයන්, ස්ක්‍රීනිං සදහා එම පරීක්ෂණය සිදු කල යුතු අවස්ථාවන් සහ පරීක්ෂණ ප්‍රතිපල සදහා ලැබෙන පිළියම් ගර්භණී නොවූ රෝගීන්ගේ ප්‍රමිතීන්ට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වේ. ඒ නිසා මෙම විශේෂ ලිපියක ඉදිරිපත් කෙරේ.
❤️ වැදගත්කම
ගර්භණී සමයේ සිදු කරන PPBS පරීක්ෂණය වැදගත් ඇයි?
ගර්භණී සමයේ ඇතැම් කාන්තාවන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යා හැකිය. ගර්භණී සමයේ ඇතිවන මෙම රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම ගර්භණී සමයේ දියවැඩියාව (Gestational Diabetes Mellitus — GDM) ලෙස හඳුන්වනු ලැබේ.
PPBS පරීක්ෂණය මගින් පහත ප්‍රයෝජන ලැබේ:
🔍 ආහාරයෙන් පසු සීනි මට්ටමේ අසාමාන්‍යතා මූලික අවස්ථාවේදීම හෙළිදරව් කිරීම
📊 සීනි පාලනයේ ගැටළු හඳුනා ගත් පසු සීනි පාලනය නිරීක්ෂණය කිරීම
🤱 මව සහ දරුවා දෙදෙනාම සංකූලතාවලින් ආරක්ෂා කිරීම
⚕️ ගර්භ රැකවරණ සේවාවේ සරල ස්ක්‍රීනිං පරීක්ෂණයක් ලෙස
⚠️
ගර්භණී සමයේ සුළු සීනි ඉහළ යාමක් පවා වැදගත් වේ... ගර්භණී නොවන රෝගීන්ට සාපේක්ෂව, ගර්භණී සමයේ රුධිරයේ සීනි මට්ටමේ සුළු ඉහළ යාමකදී පවා දරුවාට සංකූලතා ඇතිවීමේ හැකියාව ඇත. ඒ නිසා ගර්භණී සමයේ PPBS ඉලක්ක අගයන් දැඩි ය.
🇱🇰 ශ්‍රී ලාංකික භාවිතාව
ශ්‍රී ලංකාවේ ගර්භ රැකවරණ සේවාව තුළ PPBS පරීක්ෂණයේ භාවිතාව
ශ්‍රී ලංකාවේ PPBS පරීක්ෂණය, සාමාන්‍ය ගර්භ රැකවරණ සේවාව (antenatal care) තුළ ස්ක්‍රීනිං පරීක්ෂාවක් ලෙස බහුලව භාවිතා කෙරේ.
ස්ක්‍රීනිං සදහා PPBS පරීක්ෂණය සිදු කරන වේලාවන්
📋
ශ්‍රී ලාංකික භාවිතාව ගැන ශ්‍රී ලංකාවේ ගර්භ රැකවරණ සේවාව තුළ PPBS පරීක්ෂණය ස්ක්‍රීනිං සදහා භාවිතා කරයි. ගර්භණී සමයේ ශ්‍රී ලාංකික cut-off අගය ≥120 mg/dL — ගර්භණී නොවූ රෝගීන් සඳහා භාවිතා කෙරෙන ≥140 mg/dL ට වඩා දැඩිය. ඔබේ රෝහල හෝ මාතෘ සායන සේවාව ඔබේ ප්‍රතිඵල ඒ ප්‍රමිතීන් අනුව අර්ථ කථනය කරනු ඇත.
📈 ≥120 mg/dL නම්
PPBS ප්‍රථිපලය ≥120 mg/dL ක් ලැබුණොත් කුමක් කළ යුතුද?
ශ්‍රී ලාංකික ගර්භ රැකවරණ ප්‍රතිකාර රටාව අනුව, PPBS ≥120 mg/dL අගයක් ලැබුණහොත් එය අසාමාන්‍ය හෝ සැකසහිත ලෙස සලකනු ලැබේ.
🔬 PPBS ≥120 mg/dL → අසාමාන්‍ය ලෙස සලකනු ලැබේ
📋 OGTT (Oral Glucose Tolerance Test) සිදු කිරීම නිර්දේශ කෙරේ
⚠️
PPBS පරීක්ෂණයෙන් ගර්භණී සමයේ දියවැඩියාව නිර්ණය කළ හැකිද? බැහැ. American Diabetes Association (ADA) ඇතුළු ජාත්‍යන්තර මාර්ගෝපදේශ සහ ශ්‍රී ලාංකික ප්‍රතිකාර රටාව අනුව, ගර්භණී සමයේ දියවැඩියාව (Gestational Diabetes) නිර්ණය කිරීමට OGTT පරීක්ෂණය සිදු කල යුතුය. PPBS පරීක්ෂණය දියවැඩියාවට ස්ක්‍රීනිං කිරීමට සහ දියවැඩියාව හදුනාගත් පසු රෝග පාලනය අධීක්ෂණය සඳහා භාවිතා කෙරේ — රෝග නිර්ණය සඳහා භාවිතා නොකෙරේ.
✅
PPBS <120 mg/dL ක් ලැබුණොත් ශ්‍රී ලාංකික ස්ක්‍රීනිං රටාව අනුව සාමාන්‍යය ලෙස පිළිගැනේ. නමුත් ඇතැම්විට ඔබේ වෛද්‍යවරයා ඔබේ අවදානම් සාධක සලකා OGTT පරීක්ෂණය නිර්දේශ කිරීම සිදු විය හැකිය.
📊 ප්‍රතිඵල
ගර්භණී සමයේ PPBS ප්‍රතිඵල තේරුම් ගන්නේ කෙසේද?
1. ස්ක්‍රීනිං සදහා සිදු කල විට
2. නිරීක්ෂණය (ගර්භණී සමයේ දියවැඩියාව හඳුනා ගත් පසු)
🎯
ගර්භණී සමයේ ආහාරයෙන් පසු රුධිරයේ සීනි ඉලක්කය 2-hour PPBS 120 mg/dL ට අඩු නම් පාලනය සතුටුදායක ලෙස සැලකේ. දරුවාගේ නිවැරදි වර්ධනය සහතික කිරීමට මෙම ඉලක්කය ළඟා ලගාකර ගැනීම සහ පවත්වා ගැනීම වැදගත් වේ.
ගර්භණී නොවූ රෝගීන් සහ ගර්භණී රෝගීන් අතර වෙනස
📊
ගර්භණී සමයේ ඉලක්කය දැඩි ඇයි? ගර්භණී නොවූ රෝගීන්ට සාපේක්ෂව, ගර්භණී සමයේ රුධිරයේ සීනි මට්ටමේ සුළු ඉහළ යාමකදී පවා දරුවාට (ශරීර ප්‍රමාණය ඉහළ යාම, නොමේරූ ප්‍රසූතිය, රුධිරයේ සීනි මට්ටමේ ගැටළු) සංකූලතා ඇතිවිය හැකිය. ඒ නිසා ශ්‍රී ලංකාවේ ගර්භ රැකවරණ ක්‍රියාවලිය තුළ ස්ක්‍රීනිං සදහා අනුමත මට්ටම <120 mg/dL ලෙස අනුමත කෙරේ.
🍽️ සූදානම
PPBS පරීක්ෂණයට සූදානම් වන්නේ කෙසේද?
ගර්භණී සමයේ PPBS පරීක්ෂණයට සූදානම් වන ආකාරය ගර්භණී නොවන රෝගීන්ගේ ආකාරයටම සිදු කෙරේ:
🍛 සාමාන්‍ය ආහාරය ගන්න — ආහාර වේල වෙනස් නොකරන්න
⏱️ ආහාරය ගැනීම ආරම්භ කර හරියටම පැය 2 කට පසු රුධිර සාම්පලය ලබා ගනු ලැබේ
🚫 ආහාරය Skip නොකරන්න — වෙනදා ගන්නා ආහාරය සාමාන්‍ය වේලාවට ගන්න
🩸 රුධිර සාම්පලය සාමාන්‍යයෙන් වැලමිටේ නහරයකින් ලබා ගනු ලැබේ
✅
සාමාන්‍ය සුපුරුදු ආකාරයේ ආහාරයක් ගන්න PPBS පරීක්ෂාවේ අරමුණ ඔබේ සාමාන්‍ය ආහාර රටාවට ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය මැනීමයි. සාමාන්‍ය ආහාරයට වඩා අඩු හෝ සැහැල්ලු ආහාර ගැනීමෙන් ව්‍යාජ හොඳ ප්‍රතිඵලයක් ලැබිය හැකිය. ආහාර ගැනීම ආරම්භ කළ වේලාවේ සිට හරියටම පැය 2 කින් රුධිර සාම්පලය ගත යුතු නිසා, එම වේලාවට මිනිත්තු 15 කට කලින් රසායනාගාරයට යන්න.
⏰
වේලාව ඉතා වැදගත් පැය 2 ආරම්භ වන්නේ ආහාරය ගැනීම ආරම්භ කළ මොහොතේ සිටයි — ආහාර ගැනීම අවසන් කළ මොහොතේ සිට නොවේ. ගර්භ සමයේ නිවැරදි වේලාවට රුධිර සාම්පලය ලැබීම ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය සහතික කිරීමට ඉතා වැදගත් වේ.
❌ සාමාන්‍යයෙන් සිදුවන වැරදි
වැරදි සහ ඒවා වළක්ව ගන්නා ආකාර
❌
පරීක්ෂාවට පෙර ආහාරය මග හැරීම — PPBS පරීක්ෂාව සිදු කිරීමට ආහාරය ගැනීම අත්‍යවශ්‍ය වේ. ආහාරය මග හැරීමෙන් හෝ ඉතා සුළු/ සැහැල්ලු ආහාරයක් ගැනීමෙන් ව්‍යාජ හොඳ ප්‍රතිඵලයක් ලැබෙන අතර ඒ ප්‍රතිඵලය ඔබව මෙන්ම වෛද්‍යවරයාද නොමඟ යවයි.
❌
නිවැරදි වේලාවට රුධිර සාම්පලය ලබා නොගැනීම — ආහාරය ගැනීම ආරම්භ කර හරියටම පැය 2 ක් ගෙවෙන මොහොතේ රුධිර සාම්පලය ලබා ගත යුතුය. ගර්භණී සමයේ ස්ක්‍රීනිං ප්‍රතිඵල නිවැරදිව ලබා ගැනීමට නිවැරදි වේලාවට රුධිර සාම්පලය ලබා ගැනීම ඉතා වැදගත් වේ.
❌
නිරාහාර රුධිරයේ සීනි (FBS) පරීක්ෂාව සාමාන්‍ය නිසා PPBS පරීක්ෂණය සිදු කිරීම අනවශ්‍ය යැයි සිතීම — ගර්භණී සමයේ FBS පරීක්ෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය ලෙස ඇති අවස්ථාවලදී පවා ආහාරයෙන් පසු රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සිදු විය හැකිය. එනිසා PPBS මගින් ස්ක්‍රීනිං කිරීමෙන් ගර්භණී සමයේ දියවැඩියාව ආරම්භක අවස්ථාවේදීම හඳුනා ගත හැකිය.
🤰 ප්‍රධාන කරුණු — ගර්භ සමයේ PPBS
ශ්‍රී ලංකාවේ ගර්භ ලියාපදිංචි කිරීමේ අවස්ථාවේ සිදු කරන පරීක්ෂාවේදී සහ ගර්භ සති 24–28 කාලයේදී PPBS පරීක්ෂණය ස්ක්‍රීනිං පරීක්ෂාවක් ලෙස සිදු කෙරේ
≥120 mg/dL → අසාමාන්‍යයි — OGTT (Oral Glucose Tolerance Test) සිදු කිරීම නිර්දේශිතයි
<120 mg/dL → ශ්‍රී ලාංකික ගර්භ ස්ක්‍රීනිං රටාව අනුව සාමාන්‍යය ප්‍රතිඵලයක් ලෙස පිළිගත හැකිය
PPBS පරීක්ෂණයෙන් ගර්භණී සමයේ දියවැඩියාව (GDM) රෝග නිර්ණය කළ නොහැකිය — OGTT පරීක්ෂණය කිරීම අවශ්‍ය වේ.
ගර්භණී සමයේ දියවැඩියාව ඇති විට PPBS අධීක්ෂණ ඉලක්කය: <120 mg/dL (ගර්භණී නොවන රෝගීන්ගේ අගය වන <140 mg/dL නොවේ)
FBS ප්‍රතිඵල සාමාන්‍ය ලෙස ඇති අවස්ථාවලදී පවා ආහාරයෙන් පසු සීනි මට්ටම ඉහළ ගොස් තිබිය හැකිය
සාමාන්‍ය සුපුරුදු ආකාරයේ ආහාරයක් ගෙන, ආහාරය ආරම්භ කළ මොහොතේ සිට හරියටම පැය 2 කින් රුධිරය ලබා ගැනීම වැදගත් වේ.
❓ නිතර අසන ප්‍රශ්න
නිතර අසන ප්‍රශ්න
ගර්භණී සමයේ PPBS දෙවරක් කළ යුත්තේ ඇයි?
+
ගර්භ ලියාපදිංචි පරීක්ෂාව (booking visit) අවස්ථාවේ මුලින්ම ස්ක්‍රීනිං ලෙස මෙම පරීක්ෂණය සිදු කෙරේ. ඉන්පසු ගර්භණී සමයේ සීනි පාලනයේ ගැටළු ඇතිවීමේ අවදානම වැඩිම කාලය වන සති 24–28 කාලයේදී නැවත සිදු කෙරේ. දෙවරක්ම සිදු කිරීමෙන් ගර්භණී සමයේ දියවැඩියාව ඇති අවස්ථාවන් ඉක්මනින් මෙන්ම බහුලව හෙළිදරව් කිර ගත හැකිය.
PPBS සාමාන්‍ය නම් OGTT පරීක්ෂණය සිදු කළ යුතුද?
+
සාමාන්‍යයෙන් නැහැ. PPBS ප්‍රතිඵලය <120 mg/dL ලැබුණොත් සාමාන්‍යයෙන් OGTT අවශ්‍ය නොවේ. නමුත් ඔබේ වෛද්‍යවරයා ඔබේ අවදානම් සාධක (පවුලේ රෝග ඉතිහාසය, BMI, කලින් ගර්භණී සමයේ දියවැඩියාව ආදිය) සලකා OGTT නිර්දේශ කළ හැකිය.
FBS ප්‍රතිඵලය සාමාන්‍ය නම් PPBS ප්‍රතිඵලය ඉහළ යෑම සිදු විය හැකිද?
+
ඔව්. ගර්භණී සමයේ, FBS ප්‍රතිඵලය සාමාන්‍යය ලෙස ඇති විටකදී වුවත් ආහාරයෙන් පසු රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සිදු විය හැකිය. ගර්භණී සමයේ දියවැඩියාවේ ආරම්භක අවස්ථාවේදී ශරීරයට නිරාහාර රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ලෙස පවත්වා ගැනීමේ හැකියාව තිබිය හැකිය — නමුත් ආහාරයෙන් පසු රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පවතී. මේ නිසා දියවැඩියාව මුල් අවස්ථාවේදීම හදුනාගැනීමට PPBS පරීක්ෂණය ස්ක්‍රීනිං පරීක්ෂණයක් ලෙස ප්‍රයෝජනවත් වේ.
PPBS පරීක්ෂණයෙන් ගර්භණී සමයේ දියවැඩියාව නිර්ණය කළ හැකිද?
+
බැහැ. ගර්භණී සමයේ දියවැඩියාව (Gestational Diabetes Mellitus — GDM) රෝග නිර්ණය OGTT (Oral Glucose Tolerance Test) පරීක්ෂණයෙන් සිදු කෙරේ. PPBS ප්‍රතිඵලය ≥120 mg/dL අගයක් ලැබුණොත් ඊළඟ පියවර ලෙස OGTT සිදු කිරීමට නිර්දේශ කෙරේ — PPBS පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලයෙන් පමණකින් GDM රෝග නිර්ණය කළ නොහැකිය.