OGTT පරීක්ෂාව — ග්ලූකෝස් ග්‍රෑම් 75ක් අඩංගු පානයක් ලබා දීමෙන් පසු නිශ්චිත කාල අවස්ථාවල රුධිර සාම්පල ලබාගෙන ශරීරය සීනි පාලනය කරන ආකාරය මැනීම.
රචිත හා සමාලෝචිත
MBBS (Col) · MD (Col) · SLMC No. 27329 · වෛද්‍ය අධ්‍යක්ෂ, සිනෙත් හොස්පිටල්ස්
🩺 වෛද්‍ය සමාලෝචිත
📅 යාවත්කාලීන: අප්‍රේල් 2026
🕐 විනාඩි 6
🔬 දළ විශ්ලේෂණය
OGTT පරීක්ෂාව යනු කුමක්ද?
OGTT පරීක්ෂාව යනු පුද්ගලයෙකුගේ ශරීරය මගින් සීනි (ග්ලූකෝස්) පරිවෘත්තීය ක්‍රියාවලිය සිදුවන ආකාරය, එනම් ශරීරයට ලැබෙන සීනි පාලනය කිරීමට ඇති හැකියාව මැන බලන විශේෂිත රුධිර පරීක්ෂාවකි.
මෙම පරීක්ෂාව සිදුකරන ආකාරය
1
ප්‍රථමයෙන් උදෑසන නිරාහාරව සිටියදී රුධිර සාම්පලයක් ලබා ගැනීම.
2
ඉන්පසුව නියමිත ග්ලූකෝස් සාන්ද්‍රණයක් අඩංගු පානයක් ලබා දීම.
3
ග්ලූකෝස් පානය කර නිශ්චිත කාල පරාසයන් කිහිපයකදී (උදා: පැයකට සහ පැය දෙකකට පසු) නැවත රුධිර සාම්පල ලබා ගැනීම.
💡
සරලව පවසන්නේ නම්, මෙය ඔබේ ශරීරය සීනි ප්‍රමාණයකට දක්වන ප්‍රතිචාරය මැන බැලීමකි.
❓ වැදගත්කම
OGTT පරීක්ෂාව වැදගත් වන්නේ ඇයි?
සාමාන්‍ය නිරාහාර රුධිර සීනි පරීක්ෂාවකින් (FBS ) පමණක් ඇතැම් විට දියවැඩියාව මුල් අවස්ථාවේදීම හඳුනාගත නොහැකි විය හැක. එවැනි අවස්ථාවලදී රෝග විනිශ්චය සඳහා වඩාත් නිවැරදිම පරීක්ෂණය (Gold Standard) ලෙස OGTT භාවිතා වේ.
එය වඩාත් වැදගත් වන අවස්ථා
🤰
ගර්භණී කාලයේ දියවැඩියාව (Gestational Diabetes) — මවට සහ දරුවාට සිදුවිය හැකි සංකූලතා වළක්වා ගැනීමට.
⚠️
පූර්ව දියවැඩියා තත්ත්වය (Prediabetes) — නිරාහාර සීනි අගය සීමාකාරී මට්ටමක (Borderline) පවතින විට.
👨👩👧
අධි අවදානම් සහිත පුද්ගලයන් — ස්ථූලතාවය හෝ පවුල් ඉතිහාසය පවතින විට.
🩺
වෙනත් රෝග ලක්ෂණ — පැහැදිලි හේතුවක් නොමැතිව ඇතිවන ස්නායු දුර්වලතා (Neuropathy) හෝ නිතර ඇතිවන ආසාදන වැනි තත්ත්වයන් පවතින විට.
✅ ප්‍රයෝජන
OGTT පරීක්ෂාවේ ප්‍රධාන ප්‍රයෝජන
🎯
නිවැරදි රෝග විනිශ්චය දියවැඩියාව, පූර්ව දියවැඩියාව සහ ගර්භණී දියවැඩියාව ස්ථිරවම තහවුරු කිරීම.
🔍
සැඟවුණු දියවැඩියාව හඳුනාගැනීම සාමාන්‍ය පරීක්ෂණ වලදී අගයන් නිවැරදිව පෙන්නුම් කළත්, ආහාරයකින් පසු සීනි මට්ටම අධික ලෙස ඉහළ යන "Hidden Diabetes" තත්ත්වය මෙහිදී හඳුනාගත හැක.
🔬
විශේෂිත තත්ත්ව PCOS (Polycystic Ovary Syndrome) වැනි තත්ත්ව පවතින විට ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය මැන බැලීමට.
📋 සූදානම
පරීක්ෂාව සඳහා සූදානම් වන්නේ කෙසේද?
පරීක්ෂණයේ නිරවද්‍යතාවය රඳා පවතින්නේ ඔබ ඒ සඳහා වන උපදෙස් නිවැරදිව පිළිපැදීම මතය.
📅
දින 3කට පෙර සාමාන්‍ය පරිදි ආහාර ගන්න. හදිසියේ ආහාර පාලනය කිරීම හෝ කාබෝහයිඩ්‍රේට් (බත්, සීනි) සීමා කිරීම නොකළ යුතුය.
🌙
පෙර දින රාත්‍රියේ අවම වශයෙන් පැය 8-12ක් නිරාහාරව සිටිය යුතුය. (වතුර පමණක් පානය කළ හැක).
💊
ඖෂධ භාවිතය ඔබ ස්ටෙරොයිඩ් (Steroids) හෝ මුත්‍රාකාරක (Diuretics) වැනි ඖෂධ ලබාගන්නේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න. පරීක්ෂණය අවසන් වන තෙක් දියවැඩියා ඖෂධ ලබා නොගත යුතුය.
🧪 ක්‍රියාවලිය
පරීක්ෂාව සිදුකරන ආකාරය (75g OGTT)
1
පැය 8-12ක් නිරාහාරව සිට ප්‍රථම රුධිර සාම්පලය (Fasting sample) ලබාදීම.
2
ග්ලූකෝස් ග්‍රෑම් 75ක් අඩංගු ජලය මිලිලීටර් 250-300ක දියරය මිනිත්තු 5ක් ඇතුළත පානය කිරීම. (ඉතා සෙමින් පානය කිරීමෙන් ප්‍රතිඵල වෙනස් විය හැක).
3
ඉන්පසු පැයකට සහ පැය දෙකකට පසු රුධිර සාම්පල ලබා දීම.
⚠️
වැදගත් පරීක්ෂණය අතරතුර විවේකීව සිටිය යුතුය. ඇවිදීම හෝ ශාරීරික ක්‍රියාකාරකම් මගින් රුධිර සීනි මට්ටම වෙනස් විය හැකි බැවින් රසායනාගාරයෙන් පිටතට නොයා යුතුය. යම් හෙයකින් වමනය සිදුවුවහොත් පරීක්ෂණය අවලංගු කර වෙනත් දිනයක නැවත සිදු කිරීමට සිදුවේ.
📊 ප්‍රතිඵල
ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම
ගර්භණී නොවන පුද්ගලයන් සඳහා (පැය 2ක අගය)
ගර්භණී මව්වරුන් සඳහා (ශ්‍රී ලංකාවේ සම්මත අගයන්)
🔬 සාරාංශය — OGTT පරීක්ෂාව
OGTT පරීක්ෂාව යනු දියවැඩියාව මුල් අවධියේදීම හඳුනාගැනීමටත්, විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ඇති අත්‍යවශ්‍ය පරීක්ෂණයකි.
FBS පරීක්ෂාවෙන් සැඟවෙන Hidden Diabetes සහ Prediabetes හඳුනාගැනීමට OGTT වඩාත් සාර්ථකය.
පරීක්ෂණයට දින 3 කට කලින් සාමාන්‍ය ආහාර ගත යුතු අතර, දිනයේ රාත්‍රියේ පැය 8-12 ක් නිරාහාර විය යුතුය.
ග්ලූකෝස් ග්‍රෑම් 75ක් අඩංගු දියරය මිනිත්තු 5 ඇතුළත පානය කළ යුතු අතර, රසායනාගාරය ඇතුළේ විවේකීව සිටිය යුතුය.
නිවැරදි සූදානම සහ වෛද්‍ය උපදෙස් මත පරීක්ෂණය සිදු කිරීමෙන් ඔබට විශ්වාසනීය ප්‍රතිඵලයක් ලබාගත හැක.
❓ නිතර අසන ප්‍රශ්න
නිතර අසන ප්‍රශ්න
OGTT පරීක්ෂාව වේදනාකාරී ද?
+
නැත. රුධිර සාම්පල ලබා ගැනීමේදී ඇතිවන සුළු අපහසුතාවය හැරුණු විට මෙහිදී වෙනත් වේදනාවක් ඇති නොවේ.
පරීක්ෂණය අතරතුර ජලය පානය කළ හැකිද?
+
ඔව්. පිපාසය සංසිඳුවා ගැනීමට අවශ්‍ය නම් ස්වල්ප වශයෙන් ජලය පානය කිරීමේ බාධාවක් නැත.
පරීක්ෂණය සිදුවන අතරතුර එහා මෙහා ඇවිදීමට හෝ වෙනත් වැඩ කිරීමට හැකිද?
+
නැත. පරීක්ෂණය අවසන් වනතුරු හැකිතාක් විවේකීව එක තැනක සිටීම වැදගත් වේ. ඇවිදීම හෝ වෙහෙස වීම නිසා ශරීරයේ සීනි මට්ටම වෙනස් වී පරීක්ෂණ වාර්තාවේ නිරවද්‍යතාවයට බාධා විය හැක.
ග්ලූකෝස් පානය කළ පසු වමනය වුවහොත් කුමක් කළ යුතුද?
+
එවැනි අවස්ථාවකදී එදිනට පරීක්ෂණය අවලංගු කරනු ලැබේ. නැවත වෙනත් දිනයක මුල සිට සම්පූර්ණ සූදානම සහිතව (නිරාහාරව පැමිණ) පරීක්ෂණය අලුතින්ම සිදු කළ යුතුය.
HbA1c පරීක්ෂාවට වඩා OGTT පරීක්ෂාව හොඳද?
+
පරීක්ෂණ දෙකෙහිම වැදගත්කම වෙනස් වේ. කෙසේ වෙතත්, දියවැඩියාව ඉතා මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමට සහ ගර්භණී කාලයේ දියවැඩියාව (Gestational Diabetes) නිවැරදිව හඳුනාගැනීමට HbA1c වලට වඩා OGTT පරීක්ෂාව වඩාත් යෝග්‍ය වේ.
OGTT සඳහා කොපමණ වේලාවක් ගතවේද?
+
සාමාන්‍යයෙන් පැය 2ක් හෝ 3ක් අතර කාලයක් මේ සඳහා ගතවේ.
මම දිනපතා ගන්නා වෙනත් ඖෂධ පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ කෙසේද?
+
කිසිදු ඖෂධයක් වෛද්‍ය උපදෙස් නොමැතිව තමන්ගේ අභිමතය පරිදි නැවැත්වීම නොකළ යුතුය.
අත්‍යවශ්‍ය ඖෂධ: හෘද රෝග හෝ අධික රුධිර පීඩනය සඳහා වන ඖෂධ සාමාන්‍ය පරිදි ලබාගත හැක.
සීනි මට්ටමට බලපාන ඖෂධ: ස්ටෙරොයිඩ් (Steroids) වැනි ඖෂධ ලබාගන්නේ නම් රසායනාගාරයට හෝ වෛද්‍යවරයාට කල්තියා දැනුම් දෙන්න. ඖෂධය ලබාගන්නා වේලාව වෙනස් කිරීමට හෝ පරීක්ෂණය වෙනත් දිනයකට කල් දැමීමට වෛද්‍යවරයා තීරණය කරනු ඇත.