3 PPBS — ආහාර වේල් තුනෙන් පසු රුධිරයේ සීනි පරීක්ෂාව, දිනපතා සීනි ළිත
"3 PPBS" — ප්‍රධාන ආහාර වේල් තුනෙන් පසු රුධිරයේ සීනි මැනීමෙන් ලැබෙන දවස පුරා සීනි මට්ටම වෙනස්වීම පිළිබද නිරූපණය. බොහෝ විට FBS (නිරාහාර සීනි) පරීක්ෂණය සමඟ එකට සිදු කෙරේ.
වෛද්‍ය සෙනෙත් ගජසිංහ, MBBS MD
රචිත හා සමාලෝචිත
MBBS (Col) · MD (Col) · SLMC No. 27329 · වෛද්‍ය අධ්‍යක්ෂ, සිනෙත් හොස්පිටල්ස්
🩺 වෛද්‍ය සමාලෝචිත 📅 යාවත්කාලීන: අප්‍රේල් 2026 🕐 විනාඩි 5

"3 PPBS" යනු කුමක්ද?

PPBS (Postprandial Blood Sugar — ආහාරයෙන් පසු රුධිරයේ සීනි) පරීක්ෂණය යනු ආහාරය ගැනීම ආරම්භ කර පැය 2 කට පසු රුධිරයේ ග්ලූකෝස් (සීනි) ප්‍රමාණය මනින පරීක්ෂාවකි. "3 PPBS" පරීක්ෂණය යනු, දිනයේ ප්‍රධාන ආහාර වේල් තුනටම අදාළව — උදෑසන ආහාරයෙන් පසු, දිවා ආහාරයෙන් පසු, රාත්‍රී ආහාරයෙන් පසු — එම පරීක්ෂණය සිදු කර රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමයි.

බොහෝ අවස්ථාවලදී, නිරාහාර රුධිරයේ සීනි (FBS) පරීක්ෂාවද — උදෑසන ආහාරයට පෙර ගනු ලබන රුධිර සාම්පලයක් මගින් මෙය සමඟ සිදු කෙරේ. ඒ නිසා ප්‍රායෝගිකව "3 PPBS" යනු:

🌅 FBS — උදෑසන ආහාරයට පෙර (පැය 8–12 නිරාහාරව සිටීමෙන් පසු)
🍳 PPBS 1 — උදෑසන ආහාරය ආරම්භ කර පැය 2 ක් ගෙවෙන විට
🍱 PPBS 2 — දිවා ආහාරය ආරම්භ කර පැය 2 ක් ගෙවෙන විට
🍽️ PPBS 3 — රාත්‍රී ආහාරය ආරම්භ කර පැය 2 ක් ගෙවෙන විට
ℹ️
"3 PPBS" පරීක්ෂණයෙන් අපිට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ලැබේද?තනි රුධිර සීනි පරීක්ෂාවකින් — FBS හෝ එක් PPBS පරීක්ෂාවකින් — ලැබෙන්නේ එක් මොහොතක සීනි මට්ටම පිළිබඳ තතු පමණි. "3 PPBS" ගෙන් ඔබේ රුධිරයේ සීනි මට්ටම දිනය පුරාවට ආහාර වේල් සමඟ වෙනස් වන ආකාරය සම්පූර්ණ වාර්තාවක් ලෙස ලැබේ. ඒ මගින් ඔබේ සීනි මට්ටමේ ගැටළු ඇති කරන ආහාර වේල හදුනා ගත හැකිය, ප්‍රතිකාරය කෙතරම් ඵලදායිව ක්‍රියා කරනවාද යන්නත් දැනගත හැකිය.

"3 PPBS" පරීක්ෂාව අවශ්‍ය වන්නේ ඇයි?

"3 PPBS" පරීක්ෂාව මගින් ඔබේ වෛද්‍යවරයාට දිනය පුරාවට ඔබේ රුධිරයේ සීනි මට්ටම වෙනස් වන ආකාරය සම්පූර්ණ වාර්තාවක් ලෙස ලැබේ. දවසේ එක් අවස්ථාවකදී පමණක් සීනි පරීක්ෂා කිරීමට වඩා මෙය ඉතා ප්‍රයෝජනවත් වේ.

ඒ මගින් ඔබේ වෛද්‍යවරයාට:

🔍 නිරාහාර රුධිරයේ සීනි පරීක්ෂාවෙන් නොපෙනෙන ආහාරයෙන් පසු රුධිරයේ සීනි මට්ටමේ ඇති වන ස්පයික් හදුනා ගැනීම
🍛 සීනි මට්ටම වැඩිපුර ඉහළ නංවන ආහාර වේල හදුනා ගැනීම
💊 ඖෂධ හා ඉන්සියුලින් මාත්‍රා නිවැරදිව සකස් කිරීම
🥗 ආහාර රටාව නිවැරදිව වෙනස් කිරීම
⚠️
FBS ප්‍රතිඵලය සාමාන්‍ය ලෙස ඇතත් ආහාරයෙන් පසු සීනි මට්ටම ඉහළ යාම සිදු විය හැකියදියවැඩියාව හෝ Pre-diabetes ඇති බොහෝ රෝගීන්ගේ නිරාහාර රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ලෙස ඇතත් ආහාරයෙන් පසු සීනි මට්ටමේ ස්පයික් තිබිය හැකිය. FBS පරීක්ෂණය පමණක් සිදු කළොත් මෙම ආහාරයෙන් පසු ඇතිවන ස්පයික් හදුනා ගැනීමට නොහැකි වේ. "3 PPBS" පරීක්ෂාවෙන් මෙම රටා හදුනා ගැනීමට හැකිය.

වෛද්‍යවරයා "3 PPBS" නිර්දේශ කරන්නේ කුමන අවස්ථාවලද?

පහත සඳහන් අවස්ථාවලදී ඔබේ වෛද්‍යවරයා මෙම පරීක්ෂාව නිර්දේශ කළ හැකිය:

1. රුධිරයේ සීනි පාලනය පැහැදිලි නැති විට

FBS ප්‍රතිඵල සාමාන්‍ය ලෙස ඇතත් HbA1c ඉහළ ගොස් ඇති විට, ආහාරයෙන් පසු සීනි ස්පයික් ඒ HbA1c ඉහළ නංවන්නට හේතු වෙනවා විය හැකිය. "3 PPBS" පරීක්ෂණය මගින් ඒ බව තහවුරු කර ගැනීමට සහ ගැටළු ඇති ආහාර වේල හදුනා ගැනීමට හැකිය.

2. නව රෝග නිර්ණයකින් (Newly Diagnosed Diabetes) පසු

නව රෝග නිර්ණයකදී, "3 PPBS" පරීක්ෂණයෙන් ඔබේ රුධිරයේ සීනි මට්ටම දිනය පුරාවට වෙනස් වන ආකාරය වෛද්‍යවරයාට තේරුම් ගැනීමට හැකිය — ප්‍රතිකාර ආරම්භ කිරීමට හෝ සකස් කිරීමට පෙර රෝගයේ ආරම්භක තත්ත්වය මෙසේ ලේඛණගත කල හැකිය.

3. ප්‍රතිකාරය තීරණය/ වෙනස් කිරීමේදී

දියවැඩියා ඖෂධ — ඉන්සියුලින් ඇතුළු — ආරම්භ කිරීමේදී, වෙනස් කිරීමේදී, හෝ සියුම් ගැලපීම් කිරීමේදී මෙම පරීක්ෂණය වැදගත් වේ. සෑම ආහාර වේලකටම ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය දැනගත් පසු නිවැරදි මාත්‍රා හා වේලාවන් තීරණය කිරීම වඩා නිවැරදිව සිදු කල හැක.

4. මූලිකව කරන පරීක්ෂණ සාමාන්‍ය වුවත් දියවැඩියා රෝග ලක්ෂණ ඇති විට

රුධිරයේ සීනි මට්ටම ඉහළ විට ඇතිවන රෝග ලක්ෂණ (නිතර පවතින පිපාසය, නිතර නිතර මූත්‍රා පිට වීම, හේතුවක් අපැහැදිළි තෙහෙට්ටුව) ඇතත් සීනි පාලනය පිරික්සීමට සිදු කරන පරීක්ෂණ සාමාන්‍ය ලෙස ඇති නම්, "3 PPBS" පරීක්ෂණය මගින් මූලික පරීක්ෂණ වලින් නොපෙනෙන ආහාරයෙන් පසු ඇතිවන ස්පයික් හෙළිදරව් කර ගත හැකිය.

සෑම දියවැඩියා රෝගියෙක්ම සෑම විටම මෙම පරීක්ෂණය සිදු කිරීම අවශ්‍ය නොවේ"3 PPBS" පරීක්ෂාව නිර්දේශ කරන්නේ රුධිරයේ සීනි මට්ටමේ රටාව සවිස්තරාත්මකව විශ්ලේෂණය කිරීමක් අවශ්‍ය අවස්ථාවලදී පමණි — සෑම වෛද්‍ය හමුවීමකදීම සිරිත් පරිදි කරන පරීක්ෂාවක් නොවේ. ඔබේ වෛද්‍යවරයා ඔබට අදාළ අවස්ථාවේ මෙම පරීක්ෂණය අවශ්‍යද යන්න තීරණය කරනු ඇත.

"3 PPBS" පරීක්ෂාව නිවැරදිව සිදු කරන ආකාරය

නිවැරදි ප්‍රතිඵලයක් ලබා ගැනීමට මෙම පියවර අනුගමනය කරන්න. ප්‍රධාන මූලධර්මය සරලයි: සාමාන්‍ය ආහාරය ගන්න, සෑම ප්‍රධාන ආහාර වේලකට පසුම අදාළ ආහාර ගැනීම ආරම්භ කල මොහොතේ සිට හරියටම පැය 2 කින් රුධිර සාම්පලය ලබා ගන්න.

  • 1
    FBS (නිරාහාර රුධිරයේ සීනි) — පැය 8–12 අතර කාලයක් නිරාහාරව ඉද, උදෑසන ආහාරයට පෙර මේ සඳහා රුධිර සාම්පලය ගනු ලැබේ. නිරාහාර කාලයේ ජලය හැර අනෙකුත් ආහාර/බීම ගැනීම සිදු නොකරන්න.
  • 2
    උදෑසන ආහාරය — සාමාන්‍ය උදෑසන ආහාරය ගන්න. ආරම්භ කළ නිවැරදි වේලාව සටහන් කරගන්න. ඒ ආරම්භ කළ වේලාවේ සිට හරියටම පැය 2 කින් රුධිර සාම්පලය ලබා ගන්න.
  • 3
    දිවා ආහාරය — සාමාන්‍ය දිවා ආහාරය ගන්න. ආරම්භ කළ නිවැරදි වේලාව සටහන් කරගන්න. ආරම්භ කළ වේලාවේ සිට හරියටම පැය 2 කින් රුධිර සාම්පලය ලබා ගන්න.
  • 4
    රාත්‍රී ආහාරය — සාමාන්‍ය රාත්‍රී ආහාරය ගන්න. ආරම්භ කළ නිවැරදි වේලාව සටහන් කරගන්න. ආරම්භ කළ වේලාවේ සිට හරියටම පැය 2 කින් රුධිර සාම්පලය ලබා ගන්න.

වැදගත් උපදෙස්

🍛 සාමාන්‍ය ආහාරය ගන්න — පරීක්ෂාව සඳහා ආහාර ක්‍රමය වෙනස් නොකරන්න
🏃 දවස පුරාවට සාමාන්‍ය ශාරීරික ක්‍රියාකාරකම් පවත්වා ගන්න
💊 නිර්දේශිත ඖෂධ ගන්න. නමුත් අදාළ දිනයේ දියවැඩියාව සඳහා වන ඖෂධ උදෑසන ආහාරය ගැනීමෙන් පසු පමණක් ලබාගන්න. නිරාහාර කාලය තුළ එම ඖෂධ ලබා නොගත යුතුයි — වෛද්‍යවරයා වෙනත් ආකාරයකින් නිර්දේශ ලබාදුනහොත් ඒවා අනුගමනය කරන්න
⏱️ නිවැරදි වේලාවේ රුධිර සාම්පල ලබා ගන්න — පැය දෙක ආරම්භ වනුයේ ආහාරය ආරම්භ කළ මොහොතේ සිටය, අවසන් කළ මොහොතේ සිට නොවේ
වේලාව ගැන ඉඟියපැය 2 ගණනය කිරීම ආරම්භ වන්නේ ආහාරය ගැනීම ආරම්භ කළ මොහොතේ සිටයි — අවසන් කළ මොහොතේ සිට නොවේ. රසායනාගාරයේ කාර්යමණ්ඩලයට සුදානම් වීමට ටික වේලාවක් යන නිසා, අදාළ වේලාවට මිනිත්තු 15 කට කලින් රසායනාගාරයට යන්න.

"3 PPBS" ප්‍රතිඵල තේරුම් ගන්නේ කෙසේද?

ගර්භණී නොවූ වැඩිහිටි දියවැඩියා රෝගීන් සඳහා සාමාන්‍ය ඉලක්ක

පහත ඉලක්ක American Diabetes Association (ADA) මාර්ගෝපදේශ මත පදනම් වන අතර ශ්‍රී ලංකාවේ ද භාවිතා කෙරේ:

පරීක්ෂාවඉලක්ක අගය
FBS (නිරාහාර රුධිරයේ සීනි) 80–130 mg/dL
PPBS (2-hour, ඕනෑම ආහාර වේලකින් පසු) <180 mg/dL

ගර්භණී සමයේ ඉලක්ක (අදාළ නම්)

පරීක්ෂාවගර්භණී සමයේ ඉලක්කය
FBS <95 mg/dL
2-hour PPBS <120 mg/dL
⚠️
ගර්භණී සමයේ ඉලක්ක දැඩියගර්භණී සමයේ ආහාරයෙන් පසු රුධිරයේ සීනි මට්ටම සුළු ලෙස ඉහළ ගියත් භ්‍රෑණයේ (foetus) වර්ධනයට බලපා සංකූලතාවලට හේතු විය හැකිය. ඒ නිසා ගර්භණී සමයේ PPBS ඉලක්කය (<120 mg/dL) ගර්භණී නොවන රෝගීන්ගේ ඉලක්කය (<180 mg/dL) වලට වඩා දැඩිය.
ℹ️
ඔබේ ප්‍රතිඵල තවත් බොහෝ කරුණු සමග සංයුක්තව සළකා බලා අවසාන නිගමන ලබා ගත යුතුයඉලක්ක අගයන් සාමාන්‍ය මාර්ගෝපදේශ පමණි. ඔබේ ප්‍රතිඵල ඔබ ලබාගන්නා ඖෂධ, ඔබගේ රෝග ලක්ෂණ, HbA1c වැනි අනෙකුත් පරීක්ෂණ වල ප්‍රතිඵල, වකුගඩු ක්‍රියාකාරිත්වය හා අනෙකුත් සාධක සමඟ සලකා බලා අවසාන නිගමන වලට එළඹිය යුතුය. 3 PPBS ප්‍රතිඵල පමණක් බලා ප්‍රතිකාර වෙනස් කිරීම එතරම් සුදුසු නැත.

"3 PPBS" පරීක්ෂණයේ වාසි — තනි රුධිර සීනි පරීක්ෂාවකට වඩා හොඳ ඇයි?

FBS හෝ එක PPBS පරීක්ෂාවකින් එක් මොහොතක සීනි මට්ටම පමණක් පෙන්වන නිසා වැදගත් තොරතුරු අතපසු විය හැකිය. මෙම පරීක්ෂණයෙන් දවස පුරා විහිදුණු අවස්ථා තුනකදී (හෝ හතරකදී) සීනි මට්ටම මනින නිසා එම අඩුපාඩුව බොහෝ දුරට මග හරවා ගත හැක.

තනි පරීක්ෂාවකින් අතපසු විය හැකි දේFBS පරීක්ෂණයෙන් ලැබෙන්නේ රාත්‍රී නිරාහාර සීනි මට්ටම පමණි — ආහාරයෙන් පසු ස්පයික් නොපෙනේ. තනි PPBS පරීක්ෂණයකින් ලැබෙන්නේ එක් ආහාර වේලකට අදාළ ප්‍රතිචාරය පමණි. ඒ දෙකෙන්ම දිනය පුරාවට සීනි මට්ටම වෙනස් වන ආකාරය නොපෙන්වයි.

"3 PPBS" මගින් ලැබෙන වාර්තාවේ අඩංගු වන දත්ත:

🌅 උදෑසන නිරාහාර සීනි මට්ටම (FBS)
🍳 උදෑසන ආහාරයෙන් පසු ශරීරයේ ප්‍රතිචාරය
🍱 දිවා ආහාරයෙන් පසු ශරීරයේ ප්‍රතිචාරය
🌙 රාත්‍රී ආහාරයෙන් පසු ශරීරයේ ප්‍රතිචාරය

මෙම සම්පූර්ණ වාර්තාවෙන් ඔබේ වෛද්‍යවරයාට වටහා ගත හැකි කාරණා:

🍛 යම් විශේෂිත ආහාර වේලක් විශේෂයෙන් රුධිරයේ ඇතිවන සීනි ස්පයික් සඳහා බලපානවාද යන වග
💊 ඖෂධ මාත්‍රාවන් සහ ඒවා ගන්නා වේලාවන් නිවැරදිද නැද්ද යන වග
🥗 එක් එක් ආහාර වේල් වල ඇති ගැටළු සහ නොගැළපීම්
📉 දිනය තුළ හොඳ පාලනය ඇති වේලාවන් සහ දුර්වල පාලනය ඇති වේලාවන්

සාමාන්‍යයෙන් සිදුවන වැරදි

  • නිවැරදි වේලාවට රුධිර සාම්පල් නොගැනීම — රුධිර සාම්පල අදාළ ආහාරය ගැනීම ආරම්භ කරන මොහොතේ සිට හරියටම පැය 2 කින් ලබා ගත යුතුය. ඊට කලින් හෝ ප්‍රමාද වී රුධිර සාම්පල් ගැනීමෙන් ප්‍රතිඵලය සැලකිය යුතු ලෙස වෙනස් විය හැක.
  • ආහාර වේලක් මග හැරීම — ඒ ඒ PPBS පරීක්ෂණ ලබා ගැනීමට ඒ ඒ ආහාර වේල ගත යුතුය. ආහාර වේලක් මග හැරීමෙන් ව්‍යාජ අඩු ප්‍රතිඵලයක් ලැබෙන අතර එය ඔබේ දෛනික සීනි රටාව නිවැරදිව නොපෙන්වයි.
  • පරීක්ෂාව දිනයේ සාමාන්‍යයෙන් ආහාර ගන්නා ක්‍රමය වෙනස් කිරීම — සාමාන්‍ය ආහාරයට වඩා සැහැල්ලු, අඩු, හෝ "සෞඛ්‍ය සම්පන්න" ආහාරයක් ගැනීමෙන් ව්‍යාජ හොඳ ප්‍රතිඵලයක් ලැබේ. ඔබේ සාමාන්‍ය දිනපතා ආහාරය ගන්න — ඒ මගින් ඔබේ ශරීරයේ සීනි මට්ටමේ පාලනය පිළිබඳ සත්‍ය විග්‍රහයක් ලැබේ.
  • එක් PPBS පරීක්ෂණයක් කර "3 PPBS" යැයි සිතීම — මෙම පරීක්ෂාවේ නියම ප්‍රයෝජනය ලබා ගත හැකි වන්නේ ප්‍රධාන ආහාර වේල් තුනටම අදාළව රුධිරය ලබා ගත් විටය. තනි PPBS පරීක්ෂණයකින් මෙම පරීක්ෂණයේ අරමුණ ඉෂ්ඨ නොවේ.
🩸 ප්‍රධාන කරුණු — "3 PPBS" පරීක්ෂාව
  • "3 PPBS" යනු ප්‍රධාන ආහාර වේල් තුනෙන් පසු — සෑම ආහාර වේලක්ම ආරම්භ කර පැය 2 කට පසු — රුධිරයේ සීනි මැනීමයි, බොහෝ විට මේ සමග FBS පරීක්ෂණයද සිදු කෙරේ
  • මෙම පරීක්ෂණය මගින් දිනය පුරාවට ඔබේ ශරීරය ආහාරවලට ප්‍රතිචාර දක්වන ආකාරය සම්පූර්ණ වාර්තාවක් ලෙස ලැබේ
  • රුධිරයේ සීනි පාලනය අපැහැදිලි විට, ප්‍රතිකාරය වෙනස් කිරීමේදී, හෝ නව රෝග නිර්ණයකදී මෙම පරීක්ෂණය අවශ්‍ය විය හැක
  • සාමාන්‍ය 2-hour PPBS ඉලක්කය: <180 mg/dL (ගර්භණී නොවන රෝගීන්); ගර්භණී සමයේ <120 mg/dL
  • සාමාන්‍ය සුපුරුදු ආහාරය ගන්න, සාමාන්‍ය සුපුරුදු ශාරීරික ක්‍රියාකාරකම් පවත්වා ගන්න, නිර්දේශිත ඖෂධ ගන්න
  • ආහාරය ආරම්භ කළ මොහොතේ සිට පැය දෙක මැන ගන්න — එම වේලාවට මිනිත්තු 15 කට කලින් රසායනාගාරයට යන්න
  • දියවැඩියා රෝග පාලනය අධීක්ෂණයට සහ ප්‍රතිකාරය වෙනස් කිරීමට/ සීරු මාරු කිරීමට භාවිතා කෙරේ — දියවැඩියාව රෝග නිර්ණය කිරීමට භාවිතා නොකෙරේ

නිතර අසන ප්‍රශ්න

නැහැ. "3 PPBS" පරීක්ෂාව ප්‍රධාන වශයෙන් රුධිරයේ සීනි පාලනය නිරීක්ෂණය කිරීමට සහ ප්‍රතිකාර සීරු මාරු කිරීමට භාවිතා කෙරේ — දියවැඩියාව රෝග නිර්ණය කිරීමට භාවිතා නොකරයි. රෝග නිර්ණය සඳහා FBS, HbA1c, හෝ OGTT වැනි වෙනත් පරීක්ෂා අවශ්‍ය වේ.
නැහැ. "3 PPBS" පරීක්ෂාව රසායනාගාරයක් (laboratory) හරහා භාහිර රෝගියෙකු ලෙස සිදු කර ගත හැකිය — ඒ කියන්නේ අදාළ දිනයේ ප්‍රධාන ආහාර වේල් ගෙන, නිවැරදි වේලාවට රසායනාගාරයට ගොස් රුධිර සාම්පල් ලබා දිය හැකිය. ඊට අමතරව, ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කළොත් නිවසේ සිට ග්ලූකෝමීටරයකින් (glucometer) නිවෙදීමද සිදු කළ හැකිය.
ඔව්. නමුත් දියවැඩියාව සඳහා ගන්නා ඖෂධ, නිරාහාර කාලය තුළ (FBS ලබා ගැනීමට පෙර) නොගත යුතුය. ඔබේ වෛද්‍යවරයාගේ උපදෙසකින් තොරව ඖෂධ මග හැරීම හෝ වෙනස් කිරීම නොකරන්න — එය ඔබේ සෞඛ්‍යයට සහ පරීක්ෂණයේ නිරවද්‍යතාවයට බලපෑ හැකිය.
නැහැ. "3 PPBS" පරීක්ෂාව නිර්දේශ කෙරෙන්නේ සවිස්තරාත්මකව දෛනික සීනි රටාව විශ්ලේෂණය කිරීමක් අවශ්‍ය අවස්ථාවලදී පමණි — නිදසුනක් ලෙස, නිරාහාර සීනි මට්ටම සාමාන්‍ය ලෙස ඇතත් HbA1c ඉහළ අගයක් ඇති විට, ඖෂධ සීරු මාරු කිරීමේදී, හෝ දුර්වල සීනි පාලනයක් නිවැරදි කිරීමට අවශ්‍ය විට. සෑම දියවැඩියා රෝගියෙක්ම සෑම ක්ලිනික් අවස්ථාවකදීම සිදු කළ යුතු පරීක්ෂණයක් නොවේ.