Dr. Seneth Gajasinghe, MBBS MD
ලිපිය ලියා සමාලෝචනය කළේ
MBBS (Col) — MD (Col) — SLMC No. 27329 — Medical Director, සිනෙත් හොස්පිටල්ස්
✅ වෛද්‍යවරයා විසින් සමාලෝචිතයි 📅 අගෝස්තු 2026

ඩෙංගු උණ ඇති වූ විට බොහෝ රෝගීන් සහ පවුලේ සාමාජිකයන් අසන වැදගත් ප්‍රශ්නයක් වන්නේ, "මොනවාද බොන්න ඕනේ?" යන්නයි.

ඒ සමඟම තවත් ප්‍රශ්න රාශියක් ඇති විය හැකිය. කොපමණ වතුර බොන්න ඕනේද? ORS බොන්න ඕනේද? තැඹිලි හොඳද? පළතුරු යුෂ බොන්න පුළුවන්ද? වතුර වැඩිපුර බිව්වොත් ඩෙංගු ඉක්මනින් සුව වෙනවාද?

මෙම ප්‍රශ්න වැදගත්ය. ඩෙංගු රෝගියෙකු රැකබලා ගැනීමේදී ශරීරයට ප්‍රමාණවත් දියර ලබා ගැනීම ඉතා වැදගත් කොටසකි.

නමුත් මෙහිදී මතක තබා ගත යුතු වැදගත් දෙයක් තිබේ. දියර පානය කිරීම ඩෙංගු සඳහා විශේෂ ප්‍රතිකාරයක් නොවේ.

වතුර, ORS, තැඹිලි හෝ වෙනත් පානයක් මගින් ඩෙංගු වෛරසය විනාශ කළ නොහැකිය. ඒවායේ ප්‍රධාන කාර්යය වන්නේ රෝගී කාලයේදී ශරීරයට අවශ්‍ය දියර ලබා ගැනීමට සහ විජලනය වීම වළක්වා ගැනීමට උපකාර කිරීමයි.

බොහෝ ඩෙංගු රෝගීන්ට නිසි වෛද්‍ය උපදෙස් සහ පසු විපරම සමඟ නිවසේ සිටම ප්‍රමාණවත් දියර පානය කරමින් සුවය ලබා ගත හැකිය.

නමුත් දියර පානය කිරීමට නොහැකි වීම, දිගින් දිගටම වමනය යාම හෝ ඩෙංගු අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇති වීම වැනි අවස්ථාවලදී නිවසේ සිට දියර ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවිය හැකිය.

එවැනි අවස්ථාවලදී වෛද්‍ය ඇගයීමක් අවශ්‍ය වේ.

මෙම ලිපියෙන් අපි සරලව පැහැදිලි කරන්නේ:

  • 📌 ඩෙංගු උණේදී දියර වැදගත් වන්නේ ඇයි,
  • 📌 පානය කිරීමට සුදුසු දියර මොනවාද,
  • 📌 ORS අවශ්‍ය විය හැක්කේ කුමන අවස්ථාවේද?,
  • 📌 තැඹිලි වතුර පානය කළ හැකිද,
  • 📌 කොපමණ දියර පානය කළ යුතුද,
  • 📌 දියර ප්‍රමාණවත් නොවන බව හඳුනා ගන්නේ කෙසේද,
  • 📌 සහ වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්තාවලද?

යන්නයි.

ඩෙංගු උණේදී දියර පානය කිරීම
ඩෙංගු උණේදී ප්‍රමාණවත් දියර ලබා ගැනීම රෝගියා රැකබලා ගැනීමේ වැදගත් කොටසකි.

ඩෙංගු උණේදී දියර වැදගත් ඇයි?

ඩෙංගු උණ ඇති වූ විට ශරීරයේ දියර ප්‍රමාණය අඩුවීමට හේතු කිහිපයක් තිබිය හැකිය.

උණ නිසා ශරීරයෙන් දියර අහිමි විය හැකිය. දහඩිය දැමීම වැඩි විය හැකිය. අසනීප බව නිසා සාමාන්‍යයෙන් පානය කරන වතුර සහ වෙනත් දියර ප්‍රමාණය අඩු විය හැකිය. ආහාර රුචිය අඩුවීම නිසා ආහාර මගින් ලැබෙන දියර ප්‍රමාණයද අඩු විය හැකිය. සමහර රෝගීන්ට වමනය හෝ පාචනය ඇති වුවහොත් තවත් දියර අහිමි විය හැකිය.

මෙම තත්ත්වයන් නිසා ශරීරයට ලැබෙන දියර ප්‍රමාණයට වඩා අහිමි වන දියර ප්‍රමාණය වැඩි වුවහොත් විජලනය ඇති විය හැකිය.

විජලනය කියන්නේ මොකක්ද?

විජලනය යනු ශරීරයේ තිබිය යුතු ප්‍රමාණයට වඩා දියර ප්‍රමාණය අඩු වීමයි.

එවිට, කට වියළීම, පිපාසය දැඩිව දැනීම, මුත්‍රා ප්‍රමාණය අඩුවීම, මුත්‍රා තද කහ පැහැ වීම, දුර්වල බව, හිස කරකැවීම වැනි ලක්ෂණ ඇති විය හැකිය.

විජලනය වැඩි වුවහොත් ශරීරයේ සාමාන්‍ය රුධිර සංසරණයටද බලපෑම් ඇති විය හැකිය. එම නිසා ඩෙංගු රෝගියෙකුට නිතර සහ ප්‍රමාණවත් ලෙස දියර ලබා ගැනීම වැදගත්ය.

ඩෙංගු රෝගයේදී තවත් විශේෂ හේතුවක් තිබෙනවාද?

ඩෙංගු රෝගයේ අවදානම් අවධිය (Critical Phase) ලෙස හැඳින්වෙන කෙටි කාලයකදී සමහර රෝගීන්ගේ රුධිර නාල තුළ තිබෙන දියරයේ කොටසක් අවට පටක වෙත පිටවීම සිදු විය හැකිය. මෙය ප්ලාස්මා කාන්දු වීම (Plasma Leakage) ලෙස හැඳින්වේ.

මෙය සෑම ඩෙංගු රෝගියෙකුටම බරපතළ ලෙස සිදු නොවේ. නමුත් සැලකිය යුතු ප්ලාස්මා කාන්දු වීමක් ඇති වූ විට රුධිර නාල තුළ පවතින දියර ප්‍රමාණය අඩු විය හැකි අතර රුධිර සංසරණයට බලපෑම් ඇති විය හැකිය.

ඩෙංගු රෝගයේදී දියර (සජලන) තත්ත්වය ගැන වෛද්‍යවරු විශේෂ අවධානයක් යොමු කිරීමට මෙයද එක් හේතුවකි.

දියර බොන එකෙන් ප්ලාස්මා කාන්දු වීම නවත්වන්න පුළුවන්ද?

දියර පානය කිරීමෙන් ප්ලාස්මා කාන්දු වීම සිදුවීම නතර කළ නොහැකිය. එසේම වැඩිපුර වතුර පානය කිරීමෙන් බරපතළ ඩෙංගු තත්වයක් ඇති වීම සම්පූර්ණයෙන්ම වළක්වා ගත නොහැකිය.

දියර ලබා ගැනීමේ අරමුණ වන්නේ ශරීරයේ දියර තත්ත්වය පවත්වා ගැනීමට උපකාර කිරීමයි. එම නිසා හොඳින් දියර පානය කරන රෝගියෙකුට වුවද අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය ඇගයීම අවශ්‍ය වේ.

දියර පානය කිරීමෙන් ඩෙංගු සුව වෙනවාද?

ඩෙංගු වෛරසය ශරීරයෙන් ඉවත් කරන්නේ ප්‍රධාන වශයෙන් අපගේ ප්‍රතිශක්ති පද්ධතියයි. වතුර, ORS, තැඹිලි වතුර හෝ වෙනත් පානයක් මගින් වෛරසය විනාශ නොවේ.

දියරවල කාර්යය වන්නේ රෝගය පවතින කාලයේදී ශරීරයට අවශ්‍ය දියර ලබා ගැනීමට සහ විජලනය වළක්වා ගැනීමට උපකාර කිරීමයි.

එම නිසා, "වතුර වැඩිපුර බිව්වොත් ඩෙංගු ඉක්මනින් සුව වෙනවා" යන අදහස නිවැරදි නොවේ.

අපගේ අරමුණ විය යුත්තේ අධික ලෙස දියර පානය කිරීම නොව, ප්‍රමාණවත් ලෙස දියර ලබා ගැනීමයි.

වෛද්‍යවරයා දියර ගැන නිතර අහන්නේ ඇයි?

ඩෙංගු රෝගියෙකු පරීක්ෂා කරන විට වෛද්‍යවරයා, "අද කොපමණ දියර බිව්වාද?" "වමනය යනවාද?" "බොන දේ ඇගට අල්ලනවාද?" "මුත්‍රා සාමාන්‍ය ප්‍රමාණයට යනවාද?" වැනි ප්‍රශ්න අසන්නට පුළුවන.

මෙම ප්‍රශ්න අසන්නේ රෝගියාගේ දියර තත්ත්වය තක්සේරු කිරීමට උපකාර වන බැවිනි. විශේෂයෙන් දියර පානය කිරීමට නොහැකි වීම හෝ පානය කරන සියල්ලම නැවත වමනය වීම වෛද්‍ය අවධානය අවශ්‍ය කරන තත්ත්වයක් විය හැකිය.

මුත්‍රා ප්‍රමාණය වැදගත්ද?

මුත්‍රා පිටවීම ශරීරයේ දියර තත්ත්වය ගැන අදහසක් ලබා දෙන එක් වැදගත් සාධකයකි. ප්‍රමාණවත් ලෙස මුත්‍රා පිටවීම සහ ඉතා තද පැහැයක් නොමැති මුත්‍රා සාමාන්‍යයෙන් හොඳ දියර තත්ත්වයකට අනුකූල විය හැකිය.

නමුත් මුත්‍රා සාමාන්‍ය බව පමණක් භාවිතා කර ඩෙංගු රෝගය ආරක්ෂිත බව තීරණය කළ නොහැකිය.

වෛද්‍යවරු තක්සේරු කරන්නේ රෝග ලක්ෂණ, ශාරීරික පරීක්ෂණය, දියර ලබා ගැනීම, මුත්‍රා පිටවීම, සහ අවශ්‍ය විට රුධිර පරීක්ෂණ සියල්ල එකට සලකා බැලීමෙනි.

පිපාසය දැනෙන තෙක් බලා සිටිය යුතුද?

පිපාසය ශරීරයට දියර අවශ්‍ය බව පෙන්වන එක් සංඥාවකි. නමුත් දියර පානය කිරීම සඳහා දැඩි පිපාසයක් ඇති වන තෙක් බලා සිටීම අවශ්‍ය නොවේ.

ඩෙංගු රෝගියෙකුට සාමාන්‍යයෙන් වඩාත් පහසු වන්නේ දවස පුරා කුඩා ප්‍රමාණවලින් නිතර නිතර දියර පානය කිරීමයි. විශේෂයෙන් ඔක්කාරය තිබෙන විට එකවර විශාල ප්‍රමාණයක් පානය කිරීමට වඩා කුඩා ප්‍රමාණවලින් නිතර පානය කිරීම පහසු විය හැකිය.

හැකි තරම් වතුර බොන්න ඕනේද?

ඩෙංගු උණ ඇති වූ විට, "හැකි තරම් වතුර බොන්න" යන උපදෙස නිවැරදි උපදෙසක් නොවේ.

අපගේ අරමුණ වන්නේ ප්‍රමාණවත් දියර ලබා ගැනීමයි, අසීමිත ලෙස දියර පානය කිරීම නොවේ. එක් එක් පුද්ගලයාට අවශ්‍ය දියර ප්‍රමාණය වෙනස් විය හැකිය.

විශේෂයෙන්, හෘදයේ ක්‍රියාකාරිත්වය අඩු රෝගීන්, වකුගඩු ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස අඩු රෝගීන්, ශරීරයේ දියර පාලනයට බලපාන වෙනත් රෝග ඇති පුද්ගලයන් සාමාන්‍ය උපදෙස් අනුව අධික ලෙස දියර පානය නොකළ යුතුය.

එවැනි රෝගීන්ට අවශ්‍ය දියර ප්‍රමාණය පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය.

📌
මේ කොටසෙන් මතක තබා ගත යුතු දේ
  • උණ සහ දහඩිය නිසා අහිමි වන දියර නැවත ලබා ගැනීමට
  • වමනය වැනි තත්ත්වයන් නිසා ඇති වන දියර අහිමි වීම පියවා ගැනීමට
  • විජලනය වළක්වා ගැනීමට
  • සහ ශරීරයේ සාමාන්‍ය රුධිර සංසරණය පවත්වා ගැනීමට උපකාර කිරීමට දියර වැදගත්ය

නමුත් දියර ඩෙංගු වෛරසය විනාශ නොකරයි. දියර පානය කිරීම බරපතළ ඩෙංගු තත්වයක් ඇතිවීම සම්පූර්ණයෙන් වළක්වන්නේ නැත. අධික ලෙස වතුර පානය කිරීම අවශ්‍ය නොවේ.

අරමුණ වන්නේ ප්‍රමාණවත් ලෙස සහ නිතර දියර ලබා ගැනීමයි.

ඩෙංගු උණේදී පානය කිරීමට සුදුසු දියර වර්ග මොනවාද?

ඩෙංගු උණේදී පානය කළ යුතු විශේෂ දියර වර්ගයක් නොමැත.

බොහෝ රෝගීන්ට වඩාත් ප්‍රායෝගික වන්නේ සුදුසු දියර වර්ග කිහිපයක් දවස පුරා අවශ්‍ය ප්‍රමාණයට නිතර නිතර පානය කිරීමයි.

සාමාන්‍ය වතුර මෙහි ප්‍රධාන ස්ථානයක් ගනී. ඊට අමතරව රෝගියාගේ තත්ත්වය සහ වෛද්‍ය උපදෙස් අනුව, ORS, තැඹිලි වතුර, සුප්, සහ වෙනත් පහසුවෙන් පානය කළ හැකි දියර ද භාවිතා කළ හැකිය.

එක් දියර වර්ගයක් පමණක් විශාල ප්‍රමාණයකින් පානය කිරීමට වඩා, රෝගියාට පහසුවෙන් දරාගත හැකි සුදුසු දියර තෝරා ගැනීම වැදගත්ය.

සාමාන්‍ය වතුර

සාමාන්‍ය වතුර ඩෙංගු රෝගියෙකුට පානය කිරීමට සුදුසු ප්‍රධාන දියරයකි.

උණ, දහඩිය සහ සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් නිසා ශරීරයෙන් අහිමි වන දියර නැවත ලබා ගැනීමට වතුර උපකාරී වේ. බොහෝ රෝගීන්ට දවස පුරා වතුර පානය කිරීම දියර ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රමයක් විය හැකිය.

එකවර විශාල වතුර ප්‍රමාණයක් පානය කිරීමට වඩා කුඩා ප්‍රමාණවලින් නිතර පානය කිරීම බොහෝ විට පහසුය. විශේෂයෙන් ඔක්කාරය තිබෙන රෝගීන්ට මෙය වඩාත් පහසු විය හැකිය.

වතුර පමණක් ප්‍රමාණවත්ද?

සෑම රෝගියෙකුටම එකම පිළිතුරක් නැත.

සාමාන්‍යයෙන් ආහාර ගැනීමට සහ දියර පානය කිරීමට හැකි, වමනය හෝ පාචනය නොමැති රෝගියෙකුට වතුර සහ සාමාන්‍ය ආහාර මගින් ප්‍රමාණවත් දියර සහ ලවණ වර්ග ලබා ගැනීමට හැකි විය හැකිය.

නමුත්, වමනය, පාචනය, අධික දහඩිය, ආහාර ගැනීම අඩුවීම, හෝ දියර පානය කිරීම අපහසු වීම වැනි තත්ත්වයන් තිබේ නම් ජලය සමඟ ශරීරයට අවශ්‍ය ලවණ වර්ගද අහිමි විය හැකිය.

එවැනි අවස්ථාවලදී ORS වැනි දියර ප්‍රයෝජනවත් විය හැකිය.

ORS කියන්නේ මොකක්ද?

ORS (Oral Rehydration Solution) යනු ශරීරයෙන් අහිමි වන ජලය සහ වැදගත් ලවණ නැවත ලබා ගැනීමට සකස් කර ඇති දියරයකි.

එහි නිසි අනුපාතයකින්, ජලය, ලවණ, සහ ග්ලූකෝස් අඩංගු වේ.

මෙම සංයෝගය නිසා බඩවැල් මගින් ජලය සහ ලවණ ශරීරයට අවශෝෂණය කර ගැනීම පහසු කරයි.

ඩෙංගු උණේදී ORS පානය කළ හැකිද?

විශේෂයෙන් ශරීරයෙන් දියර සහ ලවණ අහිමි වන අවස්ථාවලදී ORS ප්‍රයෝජනවත් විය හැකිය.

උදාහරණ ලෙස, වමනය, පාචනය, අධික දහඩිය, හෝ ආහාර සහ දියර ගැනීම අඩු වීම තිබෙන රෝගීන්ට ORS භාවිතයට වෛද්‍යවරයා විසින් උපදෙස් දිය හැකිය.

නමුත් සෑම ඩෙංගු රෝගියෙකුම දවස පුරා ORS පමණක් පානය කළ යුතු බවක් මෙයින් අදහස් නොවේ.

ORS වතුරට වඩා හොඳද?

එසේ සරලව පැවසිය නොහැකිය.

වතුර සහ ORS දෙකේ කාර්යයන් එකිනෙකට සම්පූර්ණයෙන්ම සමාන නොවේ.

වතුර ශරීරයට අවශ්‍ය ජලය ලබා දෙයි. ORS මගින් ජලය සමඟ ඇතැම් ලවණද ලබා දෙයි.

රෝගියාගේ තත්ත්වය අනුව වතුර, ORS සහ වෙනත් සුදුසු දියර එකට භාවිතා කළ හැකිය. ORS පානය කරන නිසා සාමාන්‍ය වතුර සම්පූර්ණයෙන් නතර කිරීම අවශ්‍ය නොවේ.

ORS හදන්නේ කොහොමද?

ORS පැකට්ටුවක් භාවිතා කරන විට එහි සඳහන් උපදෙස් අනුව නිවැරදි වතුර ප්‍රමාණයට මිශ්‍ර කළ යුතුය.

පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍යයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් වතුර දමා ORS සාන්ද්‍රව සාදා ගැනීම සුදුසු නොවේ. එසේම වැඩිපුර ORS දමා අධි සාන්ද්‍ර ORS සාදා ගැනීමටද උත්සාහ නොකරන්න.

ORS නිවැරදිව සකස් කිරීම වැදගත් වන්නේ එහි ජලය, ලවණ සහ ග්ලූකෝස් නිසි අනුපාතයකින් තිබිය යුතු බැවිනි.

තැඹිලි වතුර

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගියෙකුට දියර ලබා දීම ගැන කතා කරන විට නිතරම අසන ප්‍රශ්නයක් වන්නේ, "තැඹිලි බොන්න හොඳද?" යන්නයි.

තැඹිලි වතුර ඩෙංගු රෝගියෙකුගේ දියර ලබා ගැනීමේ කොටසක් ලෙස භාවිතා කළ හැකිය.

එහි ජලය සහ පොටෑසියම් ඇතුළු ඇතැම් ලවණ අඩංගු වේ. එය රසවත් සහ පහසුවෙන් පානය කළ හැකි නිසා සමහර රෝගීන්ට දවසේ අවශ්‍ය දියර ලබා ගැනීමට උපකාරී විය හැකිය.

තැඹිලි වතුර ඩෙංගු සුව කරනවාද?

තැඹිලි වතුර, ඩෙංගු වෛරසය විනාශ නොකරයි, ඩෙංගු ඉක්මනින් සුව කරන බව තහවුරු වී නොමැත, බරපතළ ඩෙංගු ඇතිවීම වැළැක්වීමේ විශේෂ ප්‍රතිකාරයක් නොවේ, රුධිර පට්ටිකා වැඩි කරන බවටද විශ්වාසදායක සාක්ෂි නොමැත.

එහි ප්‍රධාන ප්‍රයෝජනය වන්නේ දියර ලබා ගැනීමට දායක වීමයි. එම නිසා තැඹිලි වතුර හොඳ පානයක් විය හැකි නමුත් එය ඩෙංගු සඳහා "විශේෂ බෙහෙතක්" ලෙස සැලකිය යුතු නොවේ.

තැඹිලි පමණක් බොන්න ඕනේද?

ඩෙංගු උණ ඇති වූ විට තැඹිලි වතුර පමණක් දවස පුරා පානය කිරීමට අවශ්‍ය නැත. සාමාන්‍ය වතුර සහ වෙනත් සුදුසු දියරද ලබා ගන්න.

අරමුණ වන්නේ එක් විශේෂ පානයක් විශාල ප්‍රමාණයකින් ලබා ගැනීම නොව ප්‍රමාණවත් සමස්ත දියර ප්‍රමාණය ලබා ගැනීමයි.

ඩෙංගු උණේදී පානය කිරීමට සුදුසු දියර සහ සීමා කළ යුතු බීම වර්ග
ඩෙංගු උණේදී පානය කිරීමට සුදුසු දියර සහ සීමා කළ යුතු බීම වර්ග.

සුප්

සුප් ද ඩෙංගු රෝගියෙකුට දියර ලබා ගැනීමට උපකාරී වන හොඳ විකල්පයකි.

උදාහරණ ලෙස, එළවළු සුප්, කුකුල් මස් සුප්, හෝ සැහැල්ලු broth වර්ග භාවිතා කළ හැකිය.

සුප් මගින් දියර සමඟ යම් ලවණ සහ පෝෂ්‍ය ද්‍රව්‍යද ලබා ගත හැකිය. විශේෂයෙන් ආහාර රුචිය අඩු රෝගියෙකුට සැහැල්ලු සුප් පහසුවෙන් ලබා ගත හැකි විය හැකිය.

ඉතා තෙල් සහිත හෝ සැර සුප් සුදුසුද?

රෝගියාට ඔක්කාරය හෝ වමනය තිබේ නම් ඉතා තෙල් සහිත හෝ අධික (මිරිස්) සැර ආහාර සහ සුප් දරා ගැනීමට අපහසු විය හැකිය.

එවැනි අවස්ථාවලදී සැහැල්ලු, පහසුවෙන් දරාගත හැකි සුප් වර්ග තෝරා ගැනීම වඩාත් සුදුසුය. ඩෙංගු සඳහා විශේෂ සුප් වට්ටෝරු අවශ්‍ය නොවේ.

පළතුරු යුෂ

පළතුරු යුෂද දවසේ දියර ලබා ගැනීමට දායක විය හැකිය.

එමගින්, ජලය, ස්වභාවික සීනි, සහ ඇතැම් විටමින් ලැබිය හැකිය.

නමුත් පළතුරු යුෂ අසීමිත ලෙස පානය කළ යුතු නැත. විශේෂයෙන් අධික සීනි එකතු කර ඇති පැකට් කළ පළතුරු බීම විශාල ප්‍රමාණයකින් පානය කිරීම අවශ්‍ය නොවේ.

හැකි නම් නැවුම් පළතුරු සහ සාමාන්‍ය වතුරද ආහාරයේ කොටසක් ලෙස භාවිතා කිරීම හොඳ විකල්පයකි.

දොඩම් සහ දෙහි වැනි පළතුරු වලින් වැළකිය යුතුද?

දොඩම්, දෙහි සහ වෙනත් ඇබුල් (දෙහි පවුලේ) පළතුරු වර්ග වලින් ඩෙංගු රෝගය නරක අතට හැරවෙන බවට සාක්ෂි නොමැත.

රෝගියාට ඒවා පානය කිරීමෙන් හෝ ආහාරයට ගැනීමෙන් ඔක්කාරය, බඩේ අපහසුතාවය හෝ වෙනත් ගැටලුවක් ඇති නොවේ නම් සාමාන්‍ය ආහාරයේ කොටසක් ලෙස භාවිතා කළ හැකිය.

කිරි

ඩෙංගු උණ ඇති වූ පමණින් කිරි නතර කළ යුතු නැත.

රෝගියා සාමාන්‍යයෙන් කිරි පානය කරනවා නම් සහ එය පානය කිරීමෙන් ඔක්කාරය හෝ වෙනත් අපහසුතාවයක් ඇති නොවේ නම් කිරි පානය කල හැකිය.

කිරි මගින්, දියර, ප්‍රෝටීන්, කැල්සියම්, සහ ශක්තිය ලබා ගත හැකිය.

නමුත් අසනීප කාලයේදී කිරි පානය කිරීමෙන් ඔක්කාරය වැඩි වන පුද්ගලයෙකුට එය බලෙන් ලබා දීම අවශ්‍ය නොවේ. රෝගියාට පහසුවෙන් දරාගත හැකි වෙනත් සුදුසු දියර තෝරා ගත හැකිය.

තේ සහ කෝපි

තේ හෝ කෝපි සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බවට සාමාන්‍ය නීතියක් නොමැත.

රෝගියා සාමාන්‍යයෙන් තේ හෝ කෝපි පානය කරනවා නම් සහ ඒවායින් ඔක්කාරය හෝ වෙනත් අපහසුතාවයක් ඇති නොවේ නම් කුඩා ප්‍රමාණයක් ලබා ගත හැකිය.

නමුත් තේ සහ කෝපි දවසේ ප්‍රධාන දියර ප්‍රභවය බවට පත් නොවිය යුතුය. වතුර සහ අනෙකුත් සුදුසු දියර ප්‍රමාණවත් ලෙස ලබා ගැනීම අතිශය වැදගත්ය. අධික caffeine ප්‍රමාණයක් ලබා ගැනීමද අවශ්‍ය නොවේ.

එකම දියර වර්ගයක් පමණක් පානය කළ යුතුද?

ඩෙංගු උණේදී එක් "හොඳම" පානයක් සොයාගෙන එය පමණක් පානය කිරීමට අවශ්‍ය නැත.

බොහෝ රෝගීන්ට පහත වැනි සුදුසු දියර වර්ග කිහිපයක් භාවිතා කිරීම පහසු විය හැකිය: සාමාන්‍ය වතුර, ORS අවශ්‍ය විට, තැඹිලි වතුර, සැහැල්ලු සුප්, සහ වෙනත් පහසුවෙන් දරාගත හැකි දියර වර්ග.

රෝගියාට පහසුවෙන් පානය කළ හැකි දේ තෝරා ගනිමින් දවස පුරා නිතර නිතර දියර ලබා ගැනීම ප්‍රධාන අරමුණයි.

එකවර වැඩිපුර බොනවාද? ටික ටික නිතර බොනවාද?

බොහෝ අවස්ථාවලදී ටික ටික නිතර පානය කිරීම වඩා පහසුය.

විශේෂයෙන්, ඔක්කාරය, ආහාර රුචිය අඩුවීම, හෝ වමනයට නැඹුරු බව තිබෙන විට එකවර විශාල වීදුරුවක් පානය කිරීම අපහසු විය හැකිය.

එම නිසා කුඩා ප්‍රමාණවලින් නිතර ලබා ගැනීමෙන් දවසේ අවශ්‍ය සමස්ත දියර ප්‍රමාණය ලබා ගැනීම පහසු විය හැකිය.

📌
මෙම කොටසින් මතක තබා ගත යුතු දේ
  • සාමාන්‍ය වතුර — ප්‍රධාන සහ හොඳ තේරීමකි
  • ORS — විශේෂයෙන් දියර සහ ලවණ අහිමි වන අවස්ථාවලදී ප්‍රයෝජනවත් විය හැකිය
  • තැඹිලි වතුර — දියර ලබා ගැනීමට දායක විය හැකි නමුත් ඩෙංගු සඳහා විශේෂ ප්‍රතිකාරයක් නොවේ
  • සැහැල්ලු සුප් — දියර සහ යම් පෝෂ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට උපකාරී විය හැකිය
  • පළතුරු යුෂ — මධ්‍යස්ථ ප්‍රමාණයකින් ලබා ගත හැකිය
  • කිරි — රෝගියාට දරාගත හැකි නම් නතර කිරීමට අවශ්‍ය නැත
  • තේ සහ කෝපි — කුඩා ප්‍රමාණයකින් ලබා ගත හැකි නමුත් ප්‍රධාන දියර ප්‍රභවය නොවිය යුතුය

එක් විශේෂ පානයක් නොව, ප්‍රමාණවත් දියර ප්‍රමාණය ලබා ගැනීමයි වැදගත්.

ඩෙංගු උණේදී සීමා කළ යුතු හෝ වැළකිය යුතු බීම වර්ග මොනවාද?

ඩෙංගු උණේදී ප්‍රමාණවත් දියර ලබා ගැනීම වැදගත් වුවත්, සෑම බීම වර්ගයක්ම එකසේ සුදුසු නොවේ.

සමහර බීම දියර ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රමයක් ලෙස භාවිතා කිරීම සුදුසු නැත.

විශේෂයෙන්, මත්පැන්, අධික සීනි සහිත සිසිල් බීම, ශක්ති ජනක පානයන් (Energy drinks), සහ අධික සීනි එකතු කළ පළතුරු බීම සීමා කිරීම හෝ වැළකීම සුදුසුය.

මත්පැන්

ඩෙංගු උණ පවතින කාලයේදී මත්පැන් පානය කිරීමෙන් වැළකීම සුදුසුය.

මත්පැන් ඩෙංගු රෝගියෙකුගේ දියර ලබා ගැනීම සඳහා සුදුසු පානයක් නොවේ.

රෝගී කාලයේදී මත්පැන් භාවිතය, විජලනයට දායක විය හැකිය, හිස කරකැවීම සහ දුර්වල බව වැනි ලක්ෂණ නිසා රෝගී පරික්ෂාව තවත් අපහසු කළ හැකිය, නිවැරදිව ආහාර සහ දියර ලබා ගැනීමට බාධා කළ හැකිය, සහ රෝග ලක්ෂණ නිවැරදිව හඳුනා ගැනීම අපහසු කළ හැකිය.

ඩෙංගු රෝගයේදී අක්මාවටද බලපෑම් ඇති විය හැකි බැවින් රෝගී කාලයේදී මත්පැන් භාවිතයෙන් වැළකීම වඩාත් සුදුසුය.

ඩෙංගු සුව වූ පසු මත්පැන් නැවත පානය කළ හැක්කේ කවදාද?

සෑම පුද්ගලයෙකුටම ගැළපෙන නිශ්චිත දින ගණනක් සඳහන් කළ නොහැකිය.

රෝගයේ බරපතළතාවය, සුවය ලැබීමේ වේගය, අක්මාවේ තත්ත්වය සහ වෙනත් සෞඛ්‍ය ගැටලු අනුව මෙය වෙනස් විය හැකිය. එම නිසා, පොදු නීතියක් භාවිතා කිරීම සුදුසු නොවේ.

විශේෂයෙන් රෝගය බරපතළ වූයේ නම් හෝ අක්මාව සම්බන්ධ පරීක්ෂණ වෙනස් වී තිබුණේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.

අධික සීනි සහිත සිසිල් බීම

සාමාන්‍ය සිසිල් බීම ඩෙංගු රෝගියෙකුට අවශ්‍ය දියර ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රමයක් ලෙස භාවිතා නොකළ යුතුය.

බොහෝ සිසිල් බීමවල සීනි ප්‍රමාණය ඉහළ විය හැකි අතර ශරීරයට අවශ්‍ය ලවණ නිසි අනුපාතයකින් නොලැබේ.

එම නිසා, "දියරක් නිසා ඕනෑම සිසිල් බීම වර්ගයක් හොඳයි" යන අදහස නිවැරදි නොවේ. වතුර, අවශ්‍ය විට ORS සහ වෙනත් සුදුසු දියර ප්‍රධාන තේරීම් විය යුතුය.

ශක්ති ජනක පානයන්

ශක්ති ජනක පානයන් ඩෙංගු රෝගියෙකුගේ දියර තත්වය පවත්වා ගැනීම සඳහා සුදුසු පානයක් නොවේ.

මෙවැනි බීමවල, අධික සීනි, caffeine, සහ වෙනත් උත්තේජක ද්‍රව්‍ය අඩංගු විය හැකිය.

ඒවා රෝගියාට අවශ්‍ය සාමාන්‍ය දියර හෝ ORS සඳහා ආදේශකයක් නොවේ.

ඩෙංගු රෝගියෙකුගේ දුර්වල බව අඩු කිරීමට හෝ ශක්තිය ලබා දීමට ශක්ති ජනක පානයන් අවශ්‍ය බවට වැරදි අදහසක් තිබිය හැකි නමුත් ඩෙංගු රෝගයේදී ඒවා විශේෂ ප්‍රතිකාරයන් නොවේ.

අධික සීනි සහිත පළතුරු බීම

පළතුරු යුෂ සහ පළතුරු රසැති සීනි සහිත බීම එකම දෙයක් නොවේ.

විශේෂයෙන් පැකට් කළ සමහර පළතුරු බීමවල අධික සීනි ප්‍රමාණයක් තිබිය හැකිය. එවැනි බීම දවසේ ප්‍රධාන දියර ප්‍රභවය ලෙස භාවිතා කිරීම සුදුසු නොවේ.

රෝගියාට පළතුරු යුෂ අවශ්‍ය නම් මධ්‍යස්ථ ප්‍රමාණයකින් ලබා ගත හැකි අතර, සාමාන්‍ය වතුර සහ වෙනත් සුදුසු දියරද ඊට අමතරව ලබා ගැනීම වැදගත්ය.

ගෙදර හදන ඉතා ලුණු සහිත බීම

දියර සහ ලවණ ලබා දීම සඳහා නිවසේදී විවිධ මිශ්‍රණ සාදා දීමට සමහරු උත්සාහ කරති.

නමුත් ලුණු සහ සීනි ප්‍රමාණ නිවැරදිව මැනීමකින් තොරව සකස් කරන බීමවල ඒවායේ අනුපාතය වැරදි විය හැකිය. විශේෂයෙන් අධික ලුණු ප්‍රමාණයක් යොදා සාදන බීම සුදුසු නොවේ.

ලවණ සහ දියර නැවත ලබා දීම අවශ්‍ය අවස්ථාවකදී නිසි ලෙස සකස් කරන ලද ORS වඩා විශ්වාසදායක තේරීමකි. ORS පැකට්ටුවක් භාවිතා කරන විට එහි සඳහන් ජල ප්‍රමාණයටම මිශ්‍ර කරන්න.

සීතල වතුර හෝ සීතල බීම ඩෙංගු රෝගයට නරකද?

සීතල වතුර පානය කිරීමෙන් ඩෙංගු රෝගය බරපතළ වන බවට සාක්ෂි නොමැත.

දියරයේ උෂ්ණත්වයට වඩා වැදගත් වන්නේ රෝගියාට එය පහසුවෙන් පානය කළ හැකිද සහ ප්‍රමාණවත් දියර ලබා ගන්නවාද යන්නයි.

සමහර රෝගීන්ට සීතල දියර පහසු විය හැකි අතර තවත් අයට සාමාන්‍ය උෂ්ණත්වයේ හෝ උණුසුම් දියර වඩාත් පහසු විය හැකිය. රෝගියාට පහසු ආකාරය තෝරා ගත හැකිය.

උණු වතුර බිව්වොත් ඩෙංගු ඉක්මනින් සුව වෙනවාද?

උණුසුම් පානයක් උගුරේ අපහසුතාවයක් තිබේ නම් සුවයක් ලබා දිය හැකිය.

නමුත් උණු වතුර හෝ වෙනත් උණුසුම් පානයක් ඩෙංගු වෛරසය විනාශ නොකරයි.

දියරය උණුද, සීතලද යන්නට වඩා ප්‍රමාණවත් සහ සුදුසු දියර ලබා ගැනීම වැදගත්ය.

ඩෙංගු උණේදී කොපමණ දියර පානය කළ යුතුද?

මෙය මෙම ලිපියේ වැදගත්ම ප්‍රශ්නවලින් එකකි.

බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ සරල පිළිතුරකි: "දවසකට ලීටර් කීයක් බොන්න ඕනේද?"

නමුත් සෑම ඩෙංගු රෝගියෙකුටම ගැළපෙන එකම ලීටර් ප්‍රමාණයක් සඳහන් කිරීම නිවැරදි නොවේ. දියර අවශ්‍යතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

දියර අවශ්‍යතාවය වෙනස් වන්නේ ඇයි?

රෝගියෙකුට අවශ්‍ය දියර ප්‍රමාණයට කරුණු කිහිපයක් බලපායි.

ඒවා අතර: වයස, ශරීර ප්‍රමාණය, උණේ තත්ත්වය, දහඩිය, වමනය, පාචනය තත්වයක් තිබේද, ආහාර සහ දියර ලබා ගන්නා ප්‍රමාණය, සහ වෙනත් රෝග ඇතුළත් වේ.

කුඩා දරුවෙකුට, වැඩිහිටි පුද්ගලයෙකුට සහ විශාල ශරීර ප්‍රමාණයක් ඇති වැඩිහිටියෙකුට එකම දියර ප්‍රමාණය ගැනීම සුදුසු නොවේ.

එමෙන්ම නිතර වමනය වන රෝගියෙකුගේ තත්ත්වය සාමාන්‍යයෙන් ආහාර සහ දියර ලබා ගත හැකි රෝගියෙකුගේ තත්ත්වයට සමාන නොවේ. එම නිසා එක් ලීටර් ගණනක් සියලු දෙනාටම නියම කිරීම සුදුසු නොවේ.

එසේනම් අවශ්‍ය දියර ප්‍රමාණය තීරණය කරන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් රෝගියාට පහසු ආකාරයෙන් දවස පුරා නිතර දියර ලබා ගැනීම ප්‍රායෝගික ක්‍රමයකි.

දැඩි පිපාසයක් ඇති වන තෙක් බලා සිටීමට අවශ්‍ය නැත. විශේෂයෙන් ඔක්කාරය තිබේ නම් එකවර විශාල ප්‍රමාණයක් පානය කිරීමට වඩා කුඩා ප්‍රමාණවලින් නිතර නිතර පානය කිරීම පහසු විය හැකිය.

වතුර ප්‍රධාන දියරයක් ලෙස තබාගෙන, අවශ්‍යතාවය සහ දරාගැනීම අනුව ORS, තැඹිලි වතුර, සුප් සහ වෙනත් සුදුසු දියරද එකතු කළ හැකිය.

දියර ප්‍රමාණවත්ද කියලා ගෙදරදී අදහසක් ගන්නේ කෙසේද?

එක් ලක්ෂණයක් පමණක් භාවිතා කර නිශ්චිත තීරණයක් ගත නොහැකිය.

නමුත් දියර තත්ත්වය ගැන අදහසක් ලබා ගැනීමට කරුණු කිහිපයක් එකට සලකා බැලිය හැකිය.

ප්‍රමාණවත් දියර ලබා ගන්නා රෝගියෙකුට සාමාන්‍යයෙන්: නිතර මුත්‍රා පිටවීම, මුත්‍රා ඉතා තද පැහැයක් නොවීම, කට අධික ලෙස වියළී නොතිබීම, දැඩි පිපාසය නොතිබීම, හිස කරකැවීම අඩුවීම, සහ දියර පහසුවෙන් පානය කළ හැකි වීම වැනි ලක්ෂණ තිබිය හැකිය.

නමුත් මේවා ඩෙංගු රෝගය බරපතළ නොවන බව තහවුරු කරන ලක්ෂණ නොවේ.

විජලනය විය හැකි බව පෙන්වන ලක්ෂණ මොනවාද?

පහත ලක්ෂණ ශරීරයට ප්‍රමාණවත් දියර නොලැබෙන බවට ඉඟියක් විය හැකිය:

  • 🔴 දැඩි පිපාසය
  • 🔴 කට සහ දිව වියළීම
  • 🔴 මුත්‍රා පිටවීම අඩුවීම
  • 🔴 මුත්‍රා තද කහ පැහැ වීම
  • 🔴 සිටගෙන සිටින විට හිස කරකැවීම
  • 🔴 දුර්වල බව වැඩි වීම
  • 🔴 සහ දියර පානය කිරීමට අපහසු වීම

මෙවැනි ලක්ෂණ වැඩි වෙමින් පවතින්නේ නම් හෝ රෝගියාට ප්‍රමාණවත් ලෙස දියර පානය කිරීමට නොහැකි නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

මුත්‍රා වල පාට පමණක් බලලා තීරණය කරන්න පුළුවන්ද?

මුත්‍රා තද පැහැ වීම දියර අඩුවීමේ එක් ඉඟියක් විය හැකිය. නමුත් මුත්‍රා පාට වෙනස් වීමට වෙනත් හේතුද තිබිය හැකිය.

එම නිසා මුත්‍රා පාට පමණක් භාවිතා කර දියර තත්ත්වය හෝ ඩෙංගු රෝගයේ බරපතළතාවය තීරණය නොකළ යුතුය.

වෛද්‍ය තක්සේරුවකදී රෝග ලක්ෂණ, ශාරීරික පරීක්ෂණය සහ අවශ්‍ය පරීක්ෂණ සියල්ල සලකා බලයි.

මුත්‍රා යනවා නම් ඩෙංගු අවදානමක් නැද්ද?

මුත්‍රා පිටවීම දියර තත්ත්වය තක්සේරු කිරීමට වැදගත් සාධකයකි.

නමුත් මුත්‍රා සාමාන්‍ය ලෙස පිටවීම පමණක් නිසා රෝගියාට දරුණු ඩෙංගු තත්වයක් ඇති නොවන බව තහවුරු කළ නොහැකිය.

ඩෙංගු අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇති වුවහොත් මුත්‍රා පිටවීම සාමාන්‍යව තිබුණත් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

වැඩිපුර දියර බිව්වොත් වඩා හොඳද?

අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර දියර පානය කිරීමෙන් අමතර ප්‍රතිලාභයක් ලැබෙන බව අදහස් නොවේ.

අරමුණ වන්නේ ශරීරයට අවශ්‍ය දියර ප්‍රමාණය ලබා ගැනීමයි. "වැඩි වැඩියෙන් බොන තරමට හොඳයි" යන නීතිය ඩෙංගු රෝගයට අදාළ නොවේ.

අධික ලෙස දියර ලබා ගැනීම ඇතැම් රෝගීන්ට ගැටලු ඇති කළ හැකිය. විශේෂයෙන් ශරීරයේ අතිරික්ත දියර ඉවත් කිරීමට අපහසු රෝගීන්ට මෙය වැදගත්ය.

හෘද හෝ වකුගඩු රෝග තිබේ නම්?

හෘදයේ ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස අඩු පුද්ගලයන් සහ වකුගඩු ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස අඩු පුද්ගලයන්ට දියර ප්‍රමාණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අවශ්‍ය විය හැකිය.

මෙවැනි රෝගීන්ට, "ඩෙංගු නිසා හැකි තරම් වතුර බොන්න" යන සාමාන්‍ය උපදෙස අනුව කටයුතු කිරීම සුදුසු නොවේ.

ඔවුන්ගේ දියර අවශ්‍යතාවය සහ දියර සීමා තිබේද යන්න රෝගියාගේ තත්ත්වය අනුව තීරණය කළ යුතුය.

එම නිසා පෙර සිට හෘද හෝ වකුගඩු රෝගයක් ඇති පුද්ගලයෙකුට ඩෙංගු ඇති වූ විට වෛද්‍යවරයාට එම රෝග තත්ත්වය සහ භාවිතා කරන ඖෂධ පිළිබඳව දැනුම් දීම වැදගත්ය.

දියර ගැන සරලව මතක තබා ගන්නේ කොහොමද?

දියර ලබා ගැනීමේ අරමුණ: අඩුවෙන් බීම නොවේ. අධික ලෙස බීමද නොවේ.

අරමුණ වන්නේ: රෝගියාගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි ප්‍රමාණවත් දියර ලබා ගැනීමයි.

ඒ සඳහා බොහෝ රෝගීන්ට, ටික ටික — නිතර පානය කිරීම පහසු සහ ප්‍රායෝගික ක්‍රමයකි.

📌
මෙම කොටසින් මතක තබා ගත යුතු දේ
  • මත්පැන් — ඩෙංගු රෝගී කාලයේදී වැළකීම සුදුසුය
  • අධික සීනි සහිත සිසිල් බීම — ප්‍රධාන දියර ලබා ගැනීමේ පානය ලෙස භාවිතා නොකරන්න
  • ශක්ති ජනක පානයන් — වතුර හෝ ORS සඳහා ආදේශකයක් නොවේ
  • සීතල වතුර — ඩෙංගු නරක අතට හරවන්නේ නැත
  • උණු වතුර — ඩෙංගු සුව කරන විශේෂ පානයක් නොවේ
  • නිශ්චිත ලීටර් ගණනක් — සෑම රෝගියෙකුටම ගැළපෙන්නේ නැත
  • මුත්‍රා පිටවීම — දියර තත්ත්වය ගැන අදහසක් ලබා දෙන එක් වැදගත් සාධකයකි
  • දියර වැඩිපුරම පානය කිරීම — ඉලක්කය නොවේ

ප්‍රමාණවත් ලෙස, දවස පුරා නිතර දියර ලබා ගන්න.

වමනය තිබේ නම් දියර ලබා ගන්නේ කොහොමද?

ඩෙංගු රෝගයේදී සමහර රෝගීන්ට ඔක්කාරය සහ වමනය ඇති විය හැකිය. එවිට දියර පානය කිරීම අපහසු විය හැකිය.

විශේෂයෙන් එකවර විශාල ප්‍රමාණයක් පානය කළ විට නැවත වමනය වීමට ඉඩ තිබිය හැකිය.

එම නිසා වමනයට නැඹුරු බවක් තිබෙන රෝගියෙකුට එකවර විශාල ප්‍රමාණයක් පානය කිරීමට උත්සාහ කිරීම වෙනුවට කුඩා ප්‍රමාණවලින් නිතර නිතර දියර ලබා ගැනීම වඩා පහසු විය හැකිය.

එකවර වීදුරුවක්ම බොන්න ඕනේද?

ඔක්කාරය හෝ වමනය තිබෙන විට එකවර විශාල වීදුරුවක් පානය කිරීම අවශ්‍ය නොවේ.

කුඩා උගුරු කිහිපයක් පානය කර, එය වමනය නොවී තබා ගත හැකි නම් නැවත ටික වේලාවකින් කුඩා ප්‍රමාණයක් ලබා ගැනීම පහසු විය හැකිය.

මෙහි අරමුණ වන්නේ රෝගියාට බලෙන් විශාල දියර ප්‍රමාණයක් ලබා දීම නොව දරාගත හැකි ආකාරයෙන් දියර ලබා ගැනීමට උත්සාහ කිරීමයි.

වමනය තිබෙන විට බොන්න පුළුවන් මොනවාද?

රෝගියාට දරාගත හැකි නම්, සාමාන්‍ය වතුර, ORS, තැඹිලි වතුර, සැහැල්ලු සුප්, සහ වෙනත් සුදුසු දියර කුඩා ප්‍රමාණවලින් ලබා ගත හැකිය.

එක් විශේෂ දියර වර්ගයක් පමණක් ලබා දීම අවශ්‍ය නොවේ. රෝගියාට පහසුවෙන් දරාගත හැකි දියර තෝරා ගැනීම වැදගත්ය.

වමනය එක් වරක් ගියොත් රෝහලට යන්න ඕනේද?

සෑම එක් වමනයක්ම දරුණු ඩෙංගු රෝගී තත්වයක් ඇති බව අදහස් නොකරයි.

උණ හෝ වෙනත් වෛරස් රෝග සමඟ ඔක්කාරය හෝ වමනය ඇති විය හැකිය. වැදගත් වන්නේ වමනයේ ස්වභාවය සහ රෝගියාගේ සමස්ත තත්ත්වයයි.

විශේෂයෙන්, දිගින් දිගටම වමනය යෑම, වමනය වැඩි වෙමින් පැවතීම, පානය කරන දියර ශරීරය තුළ තබා ගැනීමට නොහැකි වීම, හෝ වෙනත් ඩෙංගු අනතුරු ඇඟවීමේ ලක්ෂණ සමඟ වමනය ඇති වීම වෛද්‍ය ඇගයීමක් අවශ්‍ය කරන තත්ත්වයක් විය හැකිය.

දිගින් දිගටම වමනය යෑම වැදගත් ඇයි?

දිගින් දිගටම වමනය යන විට ගැටලු දෙකක් ඇති විය හැකිය.

පළමුව, ශරීරයෙන් දියර අහිමි වේ. දෙවනුව, අහිමි වන දියර නැවත පානය කිරීමද අපහසු වේ. එම නිසා රෝගියාගේ දියර තත්ත්වය ඉක්මනින් නරක අතට හැරිය හැකිය.

ඊට අමතරව දිගින් දිගටම වමනය වීම ඩෙංගු රෝගයේ වැදගත් අනතුරු ඇඟවීමේ ලක්ෂණයක් විය හැකිය. එම නිසා එය "වතුර ටිකක් වැඩිපුර බීල බලමු" යනුවෙන් පමණක් කළමනාකරණය කළ යුතු ලක්ෂණයක් නොවේ.

බොන හැම දෙයක්ම වමනය වෙනවා නම්?

රෝගියා පානය කරන දියර තබා ගැනීමට නොහැකි නම් නිවසේදී මුඛයෙන් දියර ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවිය හැකිය.

විශේෂයෙන් පානය කරන සෑම දෙයක්ම නැවත වමනය වනවා නම් වෛද්‍ය ඇගයීමක් ලබා ගැනීම වැදගත්ය.

එවැනි අවස්ථාවකදී රෝගියාගේ, දියර තත්ත්වය, රුධිර සංසරණය, අනෙකුත් රෝග ලක්ෂණ, සහ අවශ්‍ය පරීක්ෂණ සලකා බැලීමට සිදු විය හැකිය.

මුඛයෙන් ලබා දෙන දියර ප්‍රමාණවත් නොවන්නේ කුමන අවස්ථාවලදීද?

බොහෝ ඩෙංගු රෝගීන්ට මුඛයෙන් ප්‍රමාණවත් දියර ලබා ගත හැකිය.

නමුත් සමහර අවස්ථාවලදී එය ප්‍රමාණවත් නොවිය හැකිය. උදාහරණ ලෙස, දිගින් දිගටම වමනය යෑම, දියර පානය කිරීමට නොහැකි වීම, පානය කරන දියර ශරීරය තුළ තබා ගැනීමට නොහැකි වීම, සැලකිය යුතු විජලන තත්වයක්, ඉතා දුර්වල වීම, හෝ ඩෙංගු අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇති වීම වැනි තත්ත්වයන් තිබේ නම් වෛද්‍ය ඇගයීමක් අවශ්‍ය විය හැකිය.

එවිට රෝහලේදී කරන්නේ මොනවාද?

රෝහලේදී සෑම රෝගියෙකුටම එකම ප්‍රතිකාරය ලබා නොදේ.

වෛද්‍ය කණ්ඩායම රෝගියාගේ තත්ත්වය තක්සේරු කර, රෝග ලක්ෂණ, රුධිර සංසරණය, දියර ලබා ගැනීම, වමනය, මුත්‍රා පිටවීම, ශාරීරික පරීක්ෂණය, සහ අවශ්‍ය රුධිර පරීක්ෂණ සලකා බලයි.

ඒ අනුව රෝගියාට තවදුරටත් මුඛයෙන් දියර ලබා ගත හැකිද, නිරීක්ෂණය අවශ්‍යද, හෝ වෙනත් ප්‍රතිකාර අවශ්‍යද යන්න තීරණය කරයි.

IV fluids කියන්නේ මොනවාද?

IV fluids යනු ශිරාවක් හරහා සෘජුව ශරීරයට ලබා දෙන දියර වේ.

රෝගියාට මුඛයෙන් ප්‍රමාණවත් දියර ලබා ගැනීමට නොහැකි විට හෝ රෝගියාගේ තත්ත්වය අනුව වෛද්‍යවරයා අවශ්‍ය බව තීරණය කළ විට IV fluids ලබා දිය හැකිය.

නමුත්, ඩෙංගු ඇති සෑම රෝගියෙකුටම IV fluids අවශ්‍ය නොවේ. මුඛයෙන් ප්‍රමාණවත් දියර ලබා ගත හැකි සහ රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වන වෙනත් හේතුවක් නොමැති රෝගියෙකුට IV fluids ලබා දීම අනිවාර්ය නොවේ.

IV fluids දුන්නොත් ඩෙංගු ඉක්මනින් සුව වෙනවාද?

IV fluids ඩෙංගු වෛරසය විනාශ කරන ප්‍රතිකාරයක් නොවේ.

ඒවා අවශ්‍ය රෝගීන්ට ශරීරයේ දියර තත්ත්වය සහ රුධිර සංසරණය පවත්වා ගැනීමට භාවිතා කරන සහය ප්‍රතිකාරයකි (supportive treatment).

එම නිසා, "IV එකක් ගත්තොත් ඉක්මනින් හොඳ වෙයි" යන අදහස නිවැරදි නොවේ. IV fluids ලබා දිය යුත්තේ වෛද්‍ය අවශ්‍යතාවය අනුවය.

අවශ්‍ය නැති විට IV fluids ලබා ගැනීම හොඳද?

IV fluids යනු අවශ්‍යතාවයක් නොමැතිව ලබා ගත යුතු "ශක්තිය ලබා දෙන බෙහෙත්" වර්ගයක් නොවේ.

ඩෙංගු රෝගයේදී දියර ප්‍රමාණය නිවැරදිව කළමනාකරණය කිරීම වැදගත්ය. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි IV fluids ලබා දීමද ගැටලු ඇති කළ හැකිය.

විශේෂයෙන් රෝගයේ ඇතැම් අවධිවලදී ශරීරයේ දියර බෙදා හැරීම වෙනස් විය හැකි බැවින් IV fluids වෛද්‍ය අධීක්ෂණය යටතේ ලබා දිය යුතුය.

IV fluids අවශ්‍යද නැද්ද යන්න රෝගියාගේ තත්ත්වය අනුව වෛද්‍යවරයා තීරණය කළ යුතුය.

ORS බොන්න බැරි නම් IV fluids ගන්න ඕනේද?

අනිවාර්යයෙන්ම එසේ නොවේ.

ORS ලබා ගත නොහැකි නමුත් රෝගියාට වතුර හෝ වෙනත් සුදුසු දියර ප්‍රමාණවත් ලෙස පානය කළ හැකි විය හැකිය.

IV fluids අවශ්‍යද යන්න ORS පානය කළ හැකිද යන එක් කරුණක් මත පමණක් තීරණය නොකරයි. වැදගත් වන්නේ රෝගියාගේ සමස්ත දියර තත්ත්වය සහ රෝගයේ තත්ත්වයයි.

නමුත් කිසිදු දියරයක් ප්‍රමාණවත් ලෙස පානය කිරීමට නොහැකි නම් හෝ පානය කරන සියල්ලම නැවත වමනය යා නම් වෛද්‍ය ඇගයීමක් ලබා ගත යුතුය.

දියර පානය කරන්න පුළුවන් නම් රෝහලට යන්න අවශ්‍ය නැද්ද?

හොඳින් දියර පානය කළ හැකි වීම හොඳ ලක්ෂණයක් විය හැකිය. නමුත් එය දරුණු ඩෙංගු තත්වයක් නොමැති බව තහවුරු කරන්නේ නැත.

රෝගියාට ඩෙංගු අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇති නම් දියර පානය කළ හැකි වුවත් වෛද්‍ය ඇගයීම අවශ්‍ය විය හැකිය.

එම නිසා නිවසේදී දියර ලබා ගැනීම වෛද්‍ය පසු විපරමට හෝ අනතුරු ඇඟවීමේ ලක්ෂණ හඳුනා ගැනීමට ආදේශකයක් නොවේ.

දියර ගැන පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත්ද?

ඩෙංගු රෝගියෙකු නිවසේදී රැකබලා ගැනීමේදී දියර ඉතා වැදගත් වුවත් එය සම්පූර්ණ කළමනාකරණයේ එක් කොටසක් පමණි.

රෝගියාගේ, උණ සහ අනෙකුත් ලක්ෂණ, වමනය, උදර වේදනාව, ලේ ගැලීමේ ලක්ෂණ, මුත්‍රා පිටවීම, සාමාන්‍ය ක්‍රියාකාරීත්වය, සහ වෛද්‍යවරයා විසින් උපදෙස් දී ඇති පසු විපරම් සහ රුධිර පරීක්ෂණ පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.

උණ අඩු වූ පසු දියර ගැන අවධානය අඩු කළ හැකිද?

ඩෙංගු රෝගයේ වැදගත් කරුණක් වන්නේ සමහර රෝගීන්ගේ බරපතළ අවධිය උණ අඩු වන කාලය ආසන්නයේ ආරම්භ විය හැකි වීමයි.

එම නිසා උණ අඩු වීම පමණක්, "දැන් ඩෙංගු ඉවරයි" යනුවෙන් අදහස් නොකරයි.

උණ අඩු වූ පසුද වෛද්‍යවරයා ලබා දී ඇති උපදෙස් අනුව දියර ලබා ගැනීම, රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීම සහ අවශ්‍ය පසු විපරම් සිදු කිරීම වැදගත්ය.

වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අවස්ථා

ඩෙංගු රෝගියෙකුට පහත තත්ත්වයන් ඇති වුවහොත් නිවසේදී තවත් දියර ලබා දීම පමණක් කරමින් බලා සිටීම සුදුසු නොවේ.

  • 🔴 දිගින් දිගටම වමනය යාම — පානය කරන දියර ශරීරය තුළ තබා ගැනීමට අපහසු වන ලෙස නැවත නැවත වමනය වීම.
  • 🔴 දැඩි හෝ දිගටම පවතින උදර වේදනාව — විශේෂයෙන් අලුතින් ඇති වන හෝ වැඩි වන උදර වේදනාව.
  • 🔴 දියර පානය කිරීමට නොහැකි වීම — රෝගියාට ප්‍රමාණවත් ලෙස දියර පානය කිරීමට නොහැකි නම්.
  • 🔴 අධික දුර්වල බව හෝ තත්ත්වය නරක අතට හැරීම — රෝගියා ඉතා දුර්වල වීම හෝ රෝගය පෙරට වඩා පැහැදිලිව නරක අතට හැරීම.
  • 🔴 හිස කරකැවීම හෝ සිහි කල්පනාව තත්ත්වයේ වෙනසක් — විශේෂයෙන් ක්ලාන්ත වීමට ආසන්න බව, අසාමාන්‍ය නිදිමත, අවුල් සහගත බව හෝ ප්‍රතිචාර අඩුවීම.
  • 🔴 හුස්ම ගැනීමේ අපහසුතාවය — හුස්ම ගැනීමට අපහසු වීම හෝ හුස්ම ගැනීමේ රටාව වෙනස් වීම.
  • 🔴 ලේ ගැලීම — සැලකිය යුතු ලේ ගැලීමක් ඇති වීම.
  • 🔴 ලේ වමනය කිරීම හෝ කළු පැහැති මළපහ — මෙවැනි ලක්ෂණ ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.

අනතුරු ඇඟවීමේ ලක්ෂණ තිබුණොත් තැඹිලි හෝ ORS දීලා බලන්නද?

ඩෙංගු අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇති රෝගියෙකුට තැඹිලි, ORS හෝ වතුර ලබා දී ලක්ෂණ අඩුවේදැයි නිවසේ සිට බලා සිටීම සුදුසු නොවේ.

එවැනි ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය ඇගයීම ප්‍රමාද නොකළ යුතුය.

දියර පානය කිරීම වැදගත් වුවත් එය අනතුරු ඇඟවීමේ ලක්ෂණ සඳහා ප්‍රතිකාරයක් නොවේ.

🚨
මෙම කොටසින් මතක තබා ගත යුතු දේ
  • ඔක්කාරය තිබේ නම් — එකවර විශාල ප්‍රමාණයක් වෙනුවට කුඩා ප්‍රමාණවලින් නිතර නිතර දියර ලබා ගන්න
  • දිගින් දිගටම වමනය යාම — වෛද්‍ය අවධානය අවශ්‍ය කරන වැදගත් ලක්ෂණයකි
  • බොන දේ ශරීරය තුළ තබා ගන්න බැරි නම් — වෛද්‍ය ඇගයීමක් ලබා ගන්න
  • සෑම ඩෙංගු රෝගියෙකුටම IV fluids අවශ්‍ය නැත
  • IV fluids ඩෙංගු සුව කරන ප්‍රතිකාරයක් නොවේ
  • දියර පානය කළ හැකි වීම පමණක් රෝගියා ආරක්ෂිත බව තහවුරු නොකරයි
  • අනතුරු ඇඟවීමේ ලක්ෂණ තිබේ නම් — නිවසේදී දියර ලබා දෙමින් පමණක් බලා නොසිටින්න

දියර පානය කිරීමට නොහැකි වීම හෝ දිගින් දිගටම වමනය වීම වෛද්‍ය ඇගයීම අවශ්‍ය කරන තත්ත්වයකි.

විනාඩියකින් මතක තබා ගමු

ඩෙංගු උණේදී දියර ගැන මතක තබා ගත යුතු ප්‍රධාන කරුණු කිහිපයකි.

ඩෙංගු උණේදී දියර පානය කිරීම පිළිබඳ කෙටි සාරාංශය
ඩෙංගු උණේදී දියර පානය කිරීම කෙටියෙන් මතක තබා ගන්න.

1. නිතර දියර පානය කරන්න

දවස පුරා ප්‍රමාණවත් ලෙස දියර ලබා ගන්න. එකවර විශාල ප්‍රමාණයක් පානය කිරීමට වඩා, විශේෂයෙන් ඔක්කාරය තිබේ නම්, කුඩා ප්‍රමාණවලින් නිතර නිතර පානය කිරීම පහසු විය හැකිය.

2. සාමාන්‍ය වතුර හොඳ තේරීමක්

ඩෙංගු උණේදී සාමාන්‍ය වතුර දියර ලබා ගැනීමේ ප්‍රධාන කොටසක් විය හැකිය. විශේෂ "ඩෙංගු බීමක්" අවශ්‍ය නොවේ.

3. ORS අවශ්‍ය විට ප්‍රයෝජනවත් විය හැකිය

වමනය, පාචනය හෝ වෙනත් හේතුවක් නිසා ජලය සහ ලවණ අහිමි වන අවස්ථාවලදී ORS ප්‍රයෝජනවත් විය හැකිය. ORS භාවිතා කරන විට පැකට්ටුවේ සඳහන් උපදෙස් අනුව නිවැරදි ජල ප්‍රමාණයට මිශ්‍ර කරන්න.

4. තැඹිලි වතුර පානය කළ හැකිය

තැඹිලි වතුර දවසේ දියර ලබා ගැනීමට දායක විය හැකිය. නමුත් එය, ඩෙංගු සුව කරන බෙහෙතක් නොවේ, ඩෙංගු වෛරසය විනාශ නොකරයි, සහ රුධිර පට්ටිකා වැඩි කරන බවට විශ්වාසදායක සාක්ෂි නොමැත.

5. සුප් සහ වෙනත් සුදුසු දියරද භාවිතා කළ හැකිය

සැහැල්ලු සුප් සහ රෝගියාට පහසුවෙන් දරාගත හැකි වෙනත් සුදුසු දියර වර්ගද දවසේ දියර ලබා ගැනීමට දායක විය හැකිය. එක් දියර වර්ගයක් පමණක් පානය කිරීම අවශ්‍ය නොවේ.

6. මත්පැන්වලින් වැළකෙන්න

ඩෙංගු රෝගී කාලයේදී මත්පැන් පානය කිරීමෙන් වැළකීම සුදුසුය. අධික සීනි සහිත සිසිල් බීම සහ ශක්ති ජනක පානයන්ද ප්‍රධාන ජලය ලබා ගැනීමේ ක්‍රමය ලෙස භාවිතා නොකරන්න.

7. සෑම කෙනෙකුටම එකම ලීටර් ගණනක් ගැලපෙන්නේ නැහැ

දියර අවශ්‍යතාවය, වයස, ශරීර ප්‍රමාණය, උණ, වමනය, දියර අහිමි වීම, සහ වෙනත් රෝග අනුව වෙනස් විය හැකිය. එම නිසා සියලුම ඩෙංගු රෝගීන්ට ගැළපෙන ලබාගත යුතු එකම දෛනික ලීටර් ප්‍රමාණයක් නොමැත.

8. වැඩිපුරම බීම ඉලක්කය නොවේ

"හැකි තරම් වතුර බොන්න" යන්න නිවැරදි ඉලක්කය නොවේ. ඉලක්කය වන්නේ: ප්‍රමාණවත් ලෙස දියර ලබා ගැනීමයි. විශේෂයෙන් හෘද හෝ වකුගඩු රෝග ඇති පුද්ගලයන්ට දියර ප්‍රමාණය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් අවශ්‍ය විය හැකිය.

9. දිගින් දිගටම වමනය වැදගත් ලක්ෂණයක්

වමනය නිසා පානය කරන දියර ශරීරය තුළ තබා ගැනීමට නොහැකි නම් නිවසේදී තවත් දියර ලබා දීමට උත්සාහ කිරීම පමණක් ප්‍රමාණවත් නොවිය හැකිය. දිගින් දිගටම වමනය යෑම වෛද්‍ය ඇගයීම අවශ්‍ය කරන වැදගත් ලක්ෂණයකි.

10. දියර බොන්න බැරි නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න

රෝගියාට ප්‍රමාණවත් ලෙස දියර පානය කිරීමට නොහැකි නම් හෝ පානය කරන සියල්ලම නැවත වමනය වේ නම් වෛද්‍ය ඇගයීමක් අවශ්‍ය වේ. රෝගියාගේ තත්ත්වය අනුව රෝහල් නිරීක්ෂණය හෝ IV fluids ඇතුළු ප්‍රතිකාර අවශ්‍යද යන්න වෛද්‍ය කණ්ඩායම තීරණය කරයි.

ඩෙංගු උණේදී දියර ගැන අවසාන සරල පණිවිඩය

ඩෙංගු උණ ඇති වූ විට දියර පානය කිරීම රෝගියා රැකබලා ගැනීමේ ඉතා වැදගත් කොටසකි.

නමුත් දියර ගැන කතා කරන විට අන්ත දෙකකම සුදුසු නොවේ.

එක් පැත්තකින්, දියර අඩුවෙන් ලබා ගැනීම විජලනයට දායක විය හැකිය.

අනෙක් පැත්තෙන්, "ඩෙංගු නම් හැකි තරම් වතුර බොන්න" යන අදහසද නිවැරදි නොවේ.

අරමුණ වන්නේ රෝගියාගේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස ප්‍රමාණවත් ලෙස දියර ලබා ගැනීමයි.

සාමාන්‍ය වතුර මෙහි ප්‍රධාන තේරීමකි. අවශ්‍ය අවස්ථාවලදී ORS භාවිතා කළ හැකිය. තැඹිලි වතුර, සැහැල්ලු සුප් සහ වෙනත් සුදුසු දියරද දවසේ සමස්ත දියර ලබා ගැනීමට දායක විය හැකිය. එක් විශේෂ පානයක් සොයා ගැනීමට අවශ්‍ය නැත.

"හොඳම ඩෙංගු බීම" එකක් තිබෙනවාද?

ඩෙංගු සුව කරන හෝ බරපතළ ඩෙංගු තත්වයක් ඇති වීම වැළැක්වීමට හැකි විශේෂ පානයක් නොමැත.

වතුර, ORS, තැඹිලි වතුර හෝ වෙනත් සුදුසු පානයක ප්‍රධාන කාර්යය වන්නේ ශරීරයට දියර ලබා ගැනීමට උපකාර කිරීමයි.

එම නිසා, "මේ බීම එක බිව්වොත් රුධිර පට්ටිකා ඉක්මනින් වැඩි වෙනවා" හෝ "මේක බිව්වොත් ඩෙංගු බරපතළ වෙන්නේ නැහැ" වැනි ප්‍රකාශ විශ්වාස නොකළ යුතුය.

දියර හොඳින් බොනවා නම් වෙනත් පසු විපරම් අවශ්‍ය නැද්ද?

දියර හොඳින් පානය කිරීම ඩෙංගු රෝගියෙකුගේ රැකවරණයේ එක් වැදගත් කොටසක් පමණි.

වෛද්‍යවරයා උපදෙස් දී තිබේ නම්, නියමිත වෛද්‍ය පරීක්ෂණ, රුධිර පරීක්ෂණ, රෝග ලක්ෂණ නිරීක්ෂණය, සහ අනතුරු ඇඟවීමේ ලක්ෂණ පිළිබඳ අවධානය දිගටම අවශ්‍ය වේ.

හොඳින් වතුර පානය කළ හැකි වීම නිසා නියමිත පසු විපරම් හෝ රුධිර පරීක්ෂණ අත්හැරීම සුදුසු නොවේ.

රුධිර පට්ටිකා සංඛ්‍යාව අඩු නම් වැඩිපුර දියර බොන්න ඕනේද?

රුධිර පට්ටිකා සංඛ්‍යාව පමණක් බලලා දියර ප්‍රමාණය තීරණය කළ නොහැකිය.

ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා සංඛ්‍යාව අඩු විය හැකිය.

නමුත්, "රුධිර පට්ටිකා සංඛ්‍යාව අඩුයි, ඒ නිසා වතුර වැඩිපුර බොන්න" යන සරල නීතියක් නොමැත.

දියර අවශ්‍යතාවය තීරණය කිරීමේදී රෝගියාගේ සමස්ත තත්ත්වය වැදගත්ය. රුධිර පට්ටිකා සංඛ්‍යාව ඩෙංගු රෝගියාගේ තත්ත්වය තක්සේරු කිරීමට භාවිතා කරන එක් පරීක්ෂණ ප්‍රතිඵලයක් පමණි.

Hematocrit වැඩි නම් ගෙදරදී වැඩිපුර වතුර බොන්නද?

තනි Hematocrit අගයක් මත පමණක් ගෙදරදී බොන දියර ප්‍රමාණය තමන්ම වෙනස් නොකළ යුතුය.

ඩෙංගු රෝගයේදී Hematocrit වෙනස් වීම වැදගත් විය හැකි නමුත් එය නිවැරදිව අර්ථකථනය කිරීමට, පෙර අගයන්, රෝග ලක්ෂණ, ශාරීරික පරීක්ෂණය, දියර තත්ත්වය, සහ වෙනත් පරීක්ෂණ සලකා බැලිය යුතුය.

එම නිසා රුධිර වාර්තාවේ අගයක් දැක තමන්ම විශාල ලෙස දියර වැඩි කිරීම හෝ අඩු කිරීම සුදුසු නොවේ. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

උණ බැස්සම වතුර අඩු කරන්නද?

උණ අඩු වූ පමණින් දියර ගැන අවධානය නතර නොකළ යුතුය.

ඩෙංගු රෝගයේදී වැදගත් අවධියක් උණ අඩු වන කාලය ආසන්නයේ ඇති විය හැකිය.

එම නිසා උණ බැසීම, "දැන් රෝගය සම්පූර්ණයෙන් අවසන්" යනුවෙන් සලකා දියර, රෝග ලක්ෂණ සහ වෛද්‍ය පසු විපරම් ගැන අවධානය අඩු කිරීම සුදුසු නොවේ.

වෛද්‍යවරයා ලබා දී ඇති උපදෙස් අනුව දියර ලබා ගැනීම සහ රෝගියා නිරීක්ෂණය කිරීම දිගටම කරන්න.

සාරාංශය

ඩෙංගු උණේදී ප්‍රමාණවත් දියර ලබා ගැනීම ඉතා වැදගත්ය.

සාමාන්‍ය වතුර දියර ලබා ගැනීමේ ප්‍රධාන කොටසක් විය හැකිය. වමනය, පාචනය හෝ වෙනත් හේතුවක් නිසා ජලය සහ ලවණ අහිමි වන අවස්ථාවලදී ORS ප්‍රයෝජනවත් විය හැකිය.

තැඹිලි වතුර සහ සැහැල්ලු සුප්ද දවසේ දියර ලබා ගැනීමට දායක විය හැකිය. නමුත් තැඹිලි, ORS හෝ වෙනත් පානයක් ඩෙංගු සුව කරන විශේෂ ප්‍රතිකාරයක් නොවේ.

අධික සීනි සහිත සිසිල් බීම සහ ශක්ති ජනක පානයන් දියර ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රමය ලෙස භාවිතා කිරීම සුදුසු නොවේ. ඩෙංගු රෝගී කාලයේදී මත්පැන් පානය කිරීමෙන් වැළකීම සුදුසුය.

සෑම රෝගියෙකුටම ගැළපෙන එකම දෛනික ලීටර් ප්‍රමාණයක් නොමැත. අරමුණ වන්නේ හැකි තරම් දියර පානය කිරීම නොව, ප්‍රමාණවත් දියර ලබා ගැනීමයි. විශේෂයෙන් හෘද හෝ වකුගඩු රෝග ඇති පුද්ගලයන්ට දියර ප්‍රමාණය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් අවශ්‍ය විය හැකිය.

දිගින් දිගටම වමනය වීම, දියර පානය කිරීමට නොහැකි වීම හෝ ඩෙංගු අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇති වීම වෛද්‍ය ඇගයීම අවශ්‍ය කරන තත්ත්වයන් වේ.

දියර ලබා ගැනීම වැදගත්ය. නමුත් එය වෛද්‍ය පසු විපරම, රෝග ලක්ෂණ නිරීක්ෂණය සහ අවශ්‍ය රුධිර පරීක්ෂණ සඳහා ආදේශකයක් නොවේ.

නිතර අසන ප්‍රශ්න

සෑම රෝගියෙකුටම ගැළපෙන එකම ලීටර් ප්‍රමාණයක් නොමැත. අවශ්‍ය දියර ප්‍රමාණය වයස, ශරීර ප්‍රමාණය, උණ, වමනය, දියර අහිමි වීම, ආහාර සහ දියර ලබා ගැනීම සහ පවතින වෙනත් රෝග අනුව වෙනස් විය හැකිය. එම නිසා "සෑම ඩෙංගු රෝගියෙකුම දවසකට ලීටර් X ප්‍රමාණයක් බොන්න" යන පොදු නීතියක් භාවිතා කිරීම සුදුසු නොවේ. දවස පුරා ප්‍රමාණවත් ලෙස දියර ලබා ගන්න සහ ඔබගේ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් අනුගමනය කරන්න.
එකක් සෑම අවස්ථාවකම අනෙකට වඩා හොඳ බව පැවසිය නොහැකිය. සාමාන්‍ය වතුර දියර ලබා ගැනීමේ ප්‍රධාන කොටසක් විය හැකිය. වමනය, පාචනය හෝ වෙනත් හේතුවක් නිසා ජලය සමඟ ලවණද අහිමි වන අවස්ථාවලදී ORS ප්‍රයෝජනවත් විය හැකිය. ORS පානය කරන නිසා සාමාන්‍ය වතුර සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය නොවේ.
ඔව්. රෝගියාට දරාගත හැකි නම් තැඹිලි වතුර දවසේ දියර ලබා ගැනීමට දායක විය හැකිය. නමුත් තැඹිලි වතුර ඩෙංගු සුව කරන විශේෂ ප්‍රතිකාරයක් නොවන අතර රුධිර පට්ටිකා සංඛ්‍යාව වැඩි කරන බවට විශ්වාසදායක සාක්ෂි නොමැත. එය සාමාන්‍ය වතුර සහ වෙනත් සුදුසු දියර සමඟ භාවිතා කළ හැකිය.
පුළුවන්. රෝගියාට දරාගත හැකි නම් පළතුරු යුෂ මධ්‍යස්ථ ප්‍රමාණයකින් ලබා ගත හැකිය. නමුත් අධික සීනි එකතු කළ පළතුරු බීම දවසේ ප්‍රධාන දියර ප්‍රභවය බවට පත් කිරීම සුදුසු නොවේ. සාමාන්‍ය වතුර සහ වෙනත් සුදුසු දියරද ලබා ගන්න.
රෝගියාට ඒවා දරාගත හැකි නම් කුඩා ප්‍රමාණයකින් තේ හෝ කෝපි පානය කළ හැකිය. නමුත් ඒවා දවසේ ප්‍රධාන දියර ප්‍රභවය බවට පත් නොකළ යුතු අතර අධික caffeine ප්‍රමාණයක් ලබා ගැනීම සුදුසු නොවේ. වතුර සහ අනෙකුත් සුදුසු දියර ප්‍රමාණවත් ලෙස ලබා ගැනීම වැදගත්ය.
පුළුවන්. ඩෙංගු උණ ඇති වූ පමණින් කිරි බීම නතර කළ යුතු බවට සාමාන්‍ය නීතියක් නොමැත. රෝගියා සාමාන්‍යයෙන් කිරි පානය කරනවා නම් සහ එය පානය කිරීමෙන් ඔක්කාරය, වමනය හෝ වෙනත් අපහසුතාවයක් ඇති නොවේ නම් කිරි පානය කිරීම කල හැක. නමුත් අසනීප කාලයේදී කිරි දරාගත නොහැකි නම් එය බලෙන් ලබා දීම අවශ්‍ය නොවේ. රෝගියාට පහසුවෙන් දරාගත හැකි වෙනත් සුදුසු දියර වර්ග ලබා ගත හැකිය.
ඔක්කාරය හෝ වමනයට නැඹුරු බවක් තිබේ නම් එකවර විශාල දියර ප්‍රමාණයක් පානය කිරීමට වඩා කුඩා ප්‍රමාණවලින් නිතර නිතර දියර ලබා ගැනීම පහසු විය හැකිය. නමුත් දිගින් දිගටම වමනය යෑම, වමනය වැඩි වීම හෝ පානය කරන දියර ශරීරය තුළ තබා ගැනීමට නොහැකි වීම වෛද්‍ය ඇගයීම අවශ්‍ය කරන තත්ත්වයකි. එවැනි අවස්ථාවකදී තවත් වතුර හෝ ORS ලබා දී නිවසේ සිට බලා සිටීම පමණක් සුදුසු නොවේ.
සෑම ඩෙංගු රෝගියෙකුටම IV fluids අවශ්‍ය නොවේ. රෝගියාට මුඛයෙන් ප්‍රමාණවත් දියර ලබා ගත හැකි නම් සහ IV fluids අවශ්‍ය වන වෙනත් වෛද්‍ය හේතුවක් නොමැති නම් ඒවා අනිවාර්ය නොවේ. මුඛයෙන් ප්‍රමාණවත් දියර ලබා ගැනීමට නොහැකි වීම හෝ රෝගියාගේ තත්ත්වය අනුව අවශ්‍ය බව වෛද්‍ය කණ්ඩායම තීරණය කළ විට IV fluids ලබා දිය හැකිය. IV fluids ඩෙංගු වෛරසය විනාශ කරන්නේ නැති අතර ඩෙංගු ඉක්මනින් සුව කරන විශේෂ ප්‍රතිකාරයක්ද නොවේ.
එය සහතික කළ නොහැකිය. ප්‍රමාණවත් දියර ලබා ගැනීම ඩෙංගු රෝගියෙකු රැකබලා ගැනීමේ වැදගත් කොටසකි. නමුත් වතුර, ORS, තැඹිලි හෝ වෙනත් පානයක් මගින් දරුණු ඩෙංගු තත්වයක් ඇති වීම සම්පූර්ණයෙන් වළක්වා ගත නොහැකිය. එම නිසා හොඳින් දියර පානය කරන රෝගියෙකුට වුවද ඩෙංගු අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය ඇගයීම අවශ්‍ය වේ.
නැත. වතුර ඩෙංගු වෛරසය විනාශ නොකරයි. ප්‍රමාණවත් දියර ලබා ගැනීම විජලනය වළක්වා ගැනීමට සහ රෝගී කාලයේදී ශරීරයේ දියර තත්ත්වය පවත්වා ගැනීමට උපකාරී වේ. නමුත්, "වැඩිපුර බොන තරමට ඉක්මනින් සුව වෙනවා" යන අදහස නිවැරදි නොවේ. අරමුණ වන්නේ අසීමිත ලෙස වතුර පානය කිරීම නොව ප්‍රමාණවත් ලෙස දියර ලබා ගැනීමයි.

අවසාන මතක් කිරීම

ඩෙංගු උණේදී දියර පානය කිරීම වැදගත්ය. නමුත් දියර පානය කිරීම පමණක් ඩෙංගු රෝගියෙකුගේ ආරක්ෂාව තීරණය නොකරයි.

විශේෂයෙන්, දිගින් දිගටම වමනය යෑම, දියර පානය කිරීමට නොහැකි වීම, දැඩි හෝ දිගටම පවතින උදර වේදනාව, සැලකිය යුතු ලේ ගැලීම, ලේ වමනය, කළු පැහැති මළපහ, අසාමාන්‍ය නිදිමත හෝ අවුල් සහගත බව, හුස්ම ගැනීමේ අපහසුතාව, හෝ රෝගියාගේ තත්ත්වය පැහැදිලිව නරක අතට හැරීම වැනි තත්ත්වයන් ඇති වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද නොකරන්න.

දියර වැදගත්ය — නමුත් අනතුරු ඇඟවීමේ ලක්ෂණ තිබේ නම් වෛද්‍ය ඇගයීම ඊටත් වඩා වැදගත්ය.

🚩
වැදගත් වෛද්‍ය උපදෙස්

මෙම ලිපිය සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා පමණක් සකස් කර ඇත. එය වෛද්‍ය උපදෙස් හෝ ප්‍රතිකාර සඳහා ආදේශකයක් නොවේ.

ඔබට හෝ ඔබ රැකබලා ගන්නා ඩෙංගු රෝගියෙකුට දිගින් දිගටම වමනය යාම, දියර පානය කිරීමට නොහැකි වීම, දැඩි උදර වේදනාව, ලේ ගැලීම, හුස්ම ගැනීමේ අපහසුතාව, අසාමාන්‍ය නිදිමත, හෝ තත්ත්වය නරක අතට හැරීම වැනි ලක්ෂණ ඇති වුවහොත්, වහාම ඔබේ වෛද්‍යවරයා හෝ ළඟම ඇති රෝහල අමතන්න.