Dr. Seneth Gajasinghe, MBBS MD
ලිව්වේ සහ සමාලෝචනය කළේ
MBBS (Col) — MD (Col) — SLMC No. 27329 — Medical Director, Sineth Hospitals
✅ වෛද්‍ය සමාලෝචනය 📅 ජූලි 2026

ඩෙංගු රෝගය තහවුරු වූ පසු බොහෝ දෙනා අසන පළමු ප්‍රශ්නය වන්නේ,

"මට ගෙදර ඉන්න පුළුවන්ද?"

හෝ

"ගෙදරදී මොනවාද කරන්න ඕන?"

යන්නයි.

මෙයට බොහෝ අවස්ථාවල පිළිතුර සතුටුදායකය.

ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක්ම නිවසේදී ආරක්ෂිතව සුවය ලබයි.

නමුත්, ගෙදරදී ප්‍රතිකාර කිරීම යනු රෝගය ගැන නොසලකා සිටීම හෝ උණ බැස්සාම හැමදේම හරි කියලා හිතාගෙන ඉන්න එක නොවේ.

ඩෙංගු රෝගය දිනෙන් දින, මොහොතින් මොහොත වෙනස් විය හැකි රෝගයකි. අද ගෙදරදී ආරක්ෂිතව සිටිය හැකි රෝගියෙකුට, හෙට වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍ය විය හැක.

ඒ නිසා, ගෙදරදී ප්‍රතිකාර කිරීම කියන්නේ, දියර පානය කිරීම, නිසි විවේකය ලබා ගැනීම, දිනපතා තම තත්ත්වය නිරීක්ෂණය කිරීම, නියමිත වෛද්‍ය පරීක්ෂාවන්ට යාම, සහ අනතුරු ඇඟවීමේ ලක්ෂණ හඳුනා ගැනීම යන කරුණු එකට ක්‍රියාත්මක කිරීමයි.

මෙම ලිපියෙන්, ඩෙංගු රෝගියෙකු නිවසේදී ආරක්ෂිතව රැකබලා ගන්නේ කෙසේද, පවුලේ සාමාජිකයන් අවධානයෙන් සිටිය යුතු කරුණු මොනවාද, සහ වහාම නැවත වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවලදීද යන්න සරල සිංහලෙන් ඉගෙන ගනිමු.

මෙම ලිපිය අවසානයේදී ඔබට:

  • ගෙදරදී ප්‍රතිකාර කළ හැක්කේ කුමන රෝගීන්ටද යන්න,
  • ගෙදරදී දිනපතා කළ යුතු දේ,
  • ප්‍රමාණවත් දියර ලබා ගන්නේ කෙසේද,
  • නියමිත වෛද්‍ය පරීක්ෂණ වැදගත් ඇයි,
  • FBC නැවත නැවත කරන්නේ ඇයි,
  • වහාම රෝහලකට යා යුත්තේ කුමන අවස්ථාවලදීද,
  • සහ ගෙදරදී ප්‍රතිකාර කිරීමේදී සිදුවන පොදු වැරදි

යන සියල්ල සරලව තේරුම් ගත හැකි වේ.

ඩෙංගු ගෙදරදී ප්‍රතිකාරය — එක බැල්මෙන්

ප්‍රශ්නයකෙටි පිළිතුර
ඩෙංගු රෝගීන්ට ගෙදරදී ප්‍රතිකාර කළ හැකිද?ඔව්. බොහෝ රෝගීන් නිවැරදි ප්‍රතිකාර මගින් නිවසේදී සුවය ලබයි.
ගෙදරදී කළ යුතු වැදගත්ම දේ මොනවාද?ප්‍රමාණවත් අයුරින් දියර පානය, විවේකය, නිරීක්ෂණය සහ වෛද්‍ය පරීක්ෂාව.
රුධිර පට්ටිකා සංඛ්‍යාව වැදගත්ද?ඔව්. නමුත් එය පමණක් තීරණ ගැනීමට ප්‍රමාණවත් නොවේ.
තත්ත්වය වෙනස් වුණොත්?වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
හැම ඩෙංගු රෝගියෙකුම රෝහලකට යා යුතුද?නැහැ. බොහෝ දෙනා නිවසේදී ආරක්ෂිතව සුවය ලබයි.

💡 ඩෙංගු ගෙදරදී ප්‍රතිකාර කිරීම ආරක්ෂිත වන්නේ වෛද්‍යවරයෙකු ඔබව පරීක්ෂා කර එය සුදුසු බව තීරණය කළ විට පමණි.

ඩෙංගු රෝගියෙකු ගෙදරදී ආරක්ෂිතව රැකබලා ගන්නේ කෙසේද?
ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක්ම නිසි වෛද්‍ය උපදෙස්, ප්‍රමාණවත් දියර සහ නිසි නිරීක්ෂණය සමඟ නිවසේදී ආරක්ෂිතව සුවය ලබයි.

ඩෙංගු රෝගියෙකුට ගෙදරදී ප්‍රතිකාර කළ හැකිද?

ඩෙංගු රෝගය කියලා දැනගත් විගස, බොහෝ දෙනා සිතන්නේ රෝහලක නතර විය යුතු බවයි. නමුත් එය සත්‍ය නොවේ.

ඩෙංගු රෝගීන්ගෙන් බහුතරකට රෝහලක ප්‍රතිකාර කිරීම අවශ්‍ය නොවේ.

වෛද්‍යවරයා, ඔබගේ රෝග ලක්ෂණ, ශාරීරික පරීක්ෂාව, රුධිර පරීක්ෂණ, රෝගයේ අවධිය, සහ සමස්ත තත්ත්වය සලකා බලා, ගෙදරදී ප්‍රතිකාර කිරීම ආරක්ෂිතද යන්න තීරණය කරයි.

ඔබට නිවසේදී ප්‍රතිකාර ගන්න කිව්වා කියන්නේ, රෝගය වැදගත් නැහැ කියන එක නොවේ. එයින් අදහස් වන්නේ ඒ අවස්ථාවේදී ගෙදරදී ප්‍රතිකාර කිරීම ආරක්ෂිත බවයි.

⚠️
වැදගත් ගෙදරදී ප්‍රතිකාර කිරීම යනු “බෙහෙත් නැතුව ඉන්න” කියන එක නොවේ. එහි තේරුම වෛද්‍ය උපදෙස් අනුව නිවසේදී ආරක්ෂිතව රෝගය කළමනාකරණය කිරීමයි.

බොහෝ ඩෙංගු රෝගීන් නිවසේදීම සුව ලැබීමේ හේතුව කුමක්ද?

දැනට ඩෙංගු වෛරසය සම්පූර්ණයෙන්ම විනාශ කරන විශේෂ බෙහෙතක් නොමැත. ඒ වෙනුවට, ශරීරය තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් වෛරසය ක්‍රමයෙන් පාලනය කරයි.

මෙම කාලය තුළ, වෛද්‍ය ප්‍රතිකාරයේ අරමුණ වන්නේ රෝගියා ආරක්ෂිතව තබා ගැනීම, ප්‍රමාණවත් දියර ලබා ගැනීමට උපකාර කිරීම, තත්ත්වය නිරීක්ෂණය කිරීම, සහ අවශ්‍ය අවස්ථාවලදී ඉක්මනින් නැවත වෛද්‍ය පරීක්ෂාවක් සිදු කිරීමය. මෙම හේතුව නිසා, බොහෝ රෝගීන්ට නිවසේදී ආරක්ෂිතව සුවය ලැබිය හැක.

ගෙදරදී ප්‍රතිකාර කිරීමේ අරමුණ රෝහලකට යෑමෙන් වැළකීම නොවේ.

රෝගයේ තත්වය ඉඩ සලසන බැවින් නිවසේ සිට ආරක්ෂිතව සම්පූර්ණ සුවය ලැබීමට උත්සහ කිරීමයි.

ගෙදරදී ප්‍රතිකාර කළ හැක්කේ කුමන රෝගීන්ටද?

ඩෙංගු රෝගියෙකුට ගෙදරදී ප්‍රතිකාර කළ හැකිද යන්න තීරණය කරන්නේ රෝගියාගේ වයස, රුධිර පට්ටිකා සංඛ්‍යාව, හෝ උණ තිබෙනවාද නැද්ද යන එක් කරුණක් මත නොවේ.

වෛද්‍යවරයා රෝගියාගේ සමස්ත තත්ත්වය සලකා බලා, ඒ අවස්ථාවේදී නිවසේදී ප්‍රතිකාර කිරීම ආරක්ෂිතද යන්න තීරණය කරයි.

💚
මතක තබා ගන්න ගෙදරදී ප්‍රතිකාර කිරීම යනු රෝගය සැහැල්ලුයි කියන එක නොවේ. එය එම අවස්ථාවේදී ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රමයක් බවයි.

ගෙදරදී ප්‍රතිකාර ලබන බොහෝ රෝගීන්ගේ පොදු ලක්ෂණ

සාමාන්‍යයෙන් වෛද්‍යවරයා ගෙදරදී ප්‍රතිකාර කිරීම සුදුසු යැයි තීරණය කරන රෝගීන්ට පහත ලක්ෂණ බොහොමයක් තිබිය හැක.

  • රෝගී තත්ත්වය ස්ථාවර වීම
  • ඩෙංගු අනතුරු ඇඟවීමේ ලක්ෂණ නොතිබීම
  • ප්‍රමාණවත් ලෙස දියර පානය කළ හැකි වීම
  • මුත්‍රා සාමාන්‍ය ලෙස පිටවීම
  • ආහාර ටිකක් හෝ ගැනීමට හැකි වීම
  • නියමිත වෛද්‍ය පරීක්ෂාවන් සඳහා පැමිණිය හැකි වීම
  • පවුලේ සාමාජිකයන්ගෙන් හොඳ සහයෝගයක් තිබීම

පහත කරුණු බොහොමයක් තිබේ නම්, වෛද්‍යවරයා ගෙදරදී ප්‍රතිකාර කිරීම සුදුසු යැයි තීරණය කළ හැක:

  • ✅ අනතුරු ඇඟවීමේ ලක්ෂණ නොමැත
  • ✅ ප්‍රමාණවත් ලෙස දියර පානය කළ හැක
  • ✅ සාමාන්‍ය ලෙස මුත්‍රා පිටවේ
  • ✅ රෝගී තත්ත්වය ස්ථාවරය
  • ✅ නියමිත වෛද්‍ය පරීක්ෂාවන් සඳහා පැමිණිය හැක
  • ✅ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය උපදෙස් තේරුම් ගත හැක
ඩෙංගු ගෙදරදී ප්‍රතිකාර ලැයිස්තුව — නිවසේදී ආරක්ෂිත රැකවරණය
මෙම ලක්ෂණ ඇති බොහෝ ඩෙංගු රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව නිවසේදී ආරක්ෂිතව සුවය ලබයි.

නිවසේදී ප්‍රතිකාර කිරීම සුදුසු නොවිය හැක්කේ කුමන රෝගීන්ටද?

සෑම ඩෙංගු රෝගියෙකුටම ගෙදරදී ප්‍රතිකාර කළ නොහැක. සමහර රෝගීන්ට රෝහලක නවත්වා නිරීක්ෂණය කිරීම වඩාත් ආරක්ෂිත විය හැක.

උදාහරණ ලෙස, අනතුරු ඇඟවීමේ ලක්ෂණ තිබීම, දිගින් දිගටම වමනය යෑම, ප්‍රමාණවත් ලෙස දියර පානය කළ නොහැකි වීම, සැලකිය යුතු ලේ ගැලීම්, හෝ වෛද්‍යවරයාට තත්ත්වය පිළිබඳ අනතුරක් දැනීම වැනි අවස්ථාවල, රෝහලේ ප්‍රතිකාර නිර්දේශ කළ හැක.

රෝහලකට ඇතුළත් කිරීම යනු රෝගය අනිවාර්යයෙන්ම දරුණුයි කියන එක නොවේ.

බොහෝ විට එය ආරක්ෂිත නිරීක්ෂණයක් සඳහා ගන්නා තීරණයකි.

වෛද්‍යවරයා මෙම තීරණය ගන්නේ කෙසේද?

බොහෝ රෝගීන් සිතන්නේ, රුධිර පට්ටිකා සංඛ්‍යාව හෝ ඩෙංගු NS1 පරීක්ෂාව බලා පමණක් මෙම තීරණය ගන්නා බවයි.

ඇත්ත වශයෙන්ම, වෛද්‍යවරයා රෝග ලක්ෂණ, ශාරීරික පරීක්ෂාවේ ප්‍රතිපල, රුධිර පරීක්ෂණ ප්‍රතිපල, සජලන තත්ත්වය, රෝගයේ අවධිය, අනතුරු ඇඟවීමේ ලක්ෂණ, සහ රෝගියාගේ සමස්ත තත්ත්වය එකට සලකා බලයි. ඉන්පසුව, ගෙදරදී ප්‍රතිකාර කිරීම ආරක්ෂිතද, නැත්නම් රෝහලක නවත්වා නිරීක්ෂණය කිරීම අවශ්‍යද යන්න තීරණය කරයි.

💡
මතක තබා ගන්න රුධිර පට්ටිකා සංඛ්‍යාව වැදගත් වුණත්, එය තීරණය ගැනීමට බාවිතා කරන එක් දත්තයක් පමණි.

ගෙදර ප්‍රතිකාර කිරීම සහ රෝහලක ප්‍රතිකාර කිරීම අතර වෙනස

ගෙදරදී ප්‍රතිකාරරෝහලේ ප්‍රතිකාර
නිවසේදී සුවය ලබයිරෝහලේදී සුවය ලබයි
පවුලේ සාමාජිකයන් දිනපතා අවශ්‍ය නිරීක්ෂණ සිදු කරයිවෛද්‍ය කණ්ඩායම අදාළ නිරීක්ෂණ සිදු කරයි
නියමිත වෛද්‍ය පරීක්ෂාවන් සඳහා පැමිණේනිරන්තර වෛද්‍ය නිරීක්ෂණය ලැබේ
තත්ත්වය වෙනස් වුවහොත් නැවත රෝහලට යයිඅවශ්‍ය ප්‍රතිකාර වහාම ලබා දිය හැක

ගෙදරදී ප්‍රතිකාර කිරීම සහ රෝහලේ ප්‍රතිකාර කිරීම යන දෙකේම අරමුණ එකයි.

රෝගියාට ආරක්ෂිතම ක්‍රමය තෝරා ගෙන රෝගියා සුව කිරීමයි.

ගෙදර යාමට පෙර ඔබ දැනගත යුතු දේ

ඔබට ගෙදර යාමට අවසර ලැබුණු විට, පහත කරුණු පැහැදිලිව දැනගෙන යාම වැදගත්ය.

  • නැවත වෛද්‍යවරයා හමුවිය යුතු දිනය සහ වේලාව
  • නැවත FBC පරීක්ෂාවක් කළ යුතුද?
  • ප්‍රමාණවත් ලෙස දියර පානය කරන්නේ කෙසේද?
  • වහාම රෝහලට යා යුතු ලක්ෂණ මොනවාද?
  • ගැටලුවක් ඇති වුවහොත් දැනුම් දෙන්නේ කාටද?
⚠️
වැදගත්ම කරුණ ගෙදරදී ප්‍රතිකාර ආරක්ෂිත වන්නේ වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපදින විට පමණි.

ගෙදරදී දිනපතා කළ යුතු දේ

ඩෙංගු රෝගය සුව කිරීම සඳහා විශේෂ බෙහෙතක් නොමැත. ශරීරය ස්වභාවිකවම වෛරසයට එරෙහිව සටන් කරන අතර, අපගේ කාර්යය වන්නේ එම කාලය තුළ ශරීරයට අවශ්‍ය සහයෝගය ලබා දීමයි.

ඒ සඳහා ප්‍රමාණවත් ලෙස දියර පානය කිරීම, නිසි විවේකය ලබා ගැනීම, සුදුසු ආහාර ගැනීම, නියමිත බෙහෙත් ලබා ගැනීම, සහ දිනපතා තත්ත්වය නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ.

ඩෙංගු ගෙදරදී ප්‍රතිකාර කිරීම කියන්නේ “ගෙදරට වී ඔහේ ඉන්න එක” නොවේ.

එය දිනපතා නිවැරදි උපදෙස් පිළිපැදීමයි.

ප්‍රමාණවත් ලෙස දියර පානය කරන්න

ඩෙංගු රෝගියෙකු නිවසේදී රැකබලා ගැනීමේදී ප්‍රමාණවත් දියර ලබා ගැනීම ඉතා වැදගත් වේ. රෝගියාට එකවර විශාල ප්‍රමාණයක් පානය කිරීමට අපහසු නම්, කුඩා ප්‍රමාණ නිතර ලබා දීම ප්‍රයෝජනවත් විය හැකිය.

වතුර, ORS සහ වෙනත් සුදුසු දියර භාවිතය රෝගියාගේ තත්ත්වය සහ වෛද්‍ය උපදෙස් අනුව තීරණය කළ යුතුය. දියර පානය කිරීමට නොහැකි වීම, දිගින් දිගටම වමනය කිරීම හෝ මුත්‍රා ප්‍රමාණය අඩුවීම වැනි තත්ත්වයන් ඇති නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

📖
ඩෙංගු උණේදී පානය කළ හැකි දියර, ORS, තැඹිලි සහ අවශ්‍ය දියර ප්‍රමාණය පිළිබඳ සවිස්තරව දැනගන්න: ඩෙංගු උණේදී දියර පානය කිරීම — මොනවාද? කොපමණද? →

සුදුසු ආහාර ලබා ගන්න

ඩෙංගු රෝගයේදී ආහාර රුචිය අඩුවීම සාමාන්‍ය දෙයකි. ඒ නිසා, එක්වර විශාල ආහාර වේලක් ගැනීමට උත්සාහ කරනවාට වඩා, කුඩා ප්‍රමාණවලින් නිතර ආහාර ගැනීම පහසු විය හැක.

සාමාන්‍යයෙන් බත්, එළවළු, පලතුරු, කැඳ, සුප්, යෝගට්, සහ ප්‍රෝටීන් සහිත ආහාර වැනි පෝෂ්‍යදායී ආහාර රෝගියාට දරා ගත හැකි පරිදි ලබා ගන්න.

💚
මතක තබා ගන්න ඩෙංගු සුව වීමට විශේෂ “අරුම පුදුම ආහාරයක්” අවශ්‍ය නොවේ. සමබල ආහාර වේලක් ප්‍රමාණවත්ය.

කෑම රුචිය අඩු වීම, ඔක්කාරය සහ පැපොල්/කිවි වැනි platelet ආහාර මිථ්‍යාවන් පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහා අපගේ ඩෙංගු උණේදී කෑමට සුදුසු ආහාර මොනවාද? ලිපිය බලන්න.

ප්‍රමාණවත් විවේකයක් ලබා ගන්න

ඩෙංගු රෝගයේදී ශරීරයට මහන්සිය දැනීම සාමාන්‍ය දෙයකි. ඒ නිසා, ප්‍රමාණවත් ලෙස විවේක ගැනීම ශරීරයට සුවය ලැබීමට උපකාරී වේ.

ඔබට සුවයක් දැනෙන්න පටන් ගත් පසු, දෛනික වැඩ කටයුතු ක්‍රමයෙන් නැවත ආරම්භ කළ හැක. නමුත්, අධික ව්‍යායාම, බර වැඩ, හෝ දැඩි ශාරීරික ක්‍රියාකාරකම් ඉක්මනින් ආරම්භ කිරීමෙන් වළකින්න.

ඔබගේ ශරීරය කියන දේට සවන් දෙන්න.

ශරීරයට වෙහෙසක් නොදැනෙන වේගයකට ක්‍රමයෙන් දෛනික ජීවිතයට ආපසු යන්න.

උණ පාලනය කිරීම

ඩෙංගු රෝගයේදී උණ දින කිහිපයක් පැවතිය හැක. වෛද්‍යවරයා උණ අඩු කිරීමට සුදුසු බෙහෙත් නිර්දේශ කරනු ඇත.

  • වෛද්‍ය උපදෙස් පිළිපදින්න
  • තමන්ම අලුත් බෙහෙත් ආරම්භ නොකරන්න
  • උණ අඩු වුණා කියලා ප්‍රතිකාර නතර නොකරන්න
⚠️
වැදගත් උණ අඩු වීම පමණක් සුවය ලැබුණු බවට සාක්ෂියක් නොවේ.

බෙහෙත් ගැනීමේදී සැලකිලිමත් වන්න

ඩෙංගු රෝගයේදී බොහෝ දෙනා මිතුරන්ගෙන්, ඥාතීන්ගෙන්, හෝ සමාජ මාධ්‍යවලින් විවිධ උපදෙස් ලබා ගනී. ඒ අතර විවිධ ඖෂධ, ඖෂධීය පැළෑටි, අතිරේක පෝෂක, හෝ වෙනත් නිෂ්පාදන භාවිතා කරන්නැයි උපදෙස් ලැබිය හැක. කෙසේ වෙතත්, එවැනි දේ වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිතා නොකළ යුතුය.

කළ යුතු දේනොකළ යුතු දේ
වෛද්‍යවරයාගේ බෙහෙත් පමණක් ගන්නතමන්ම බෙහෙත් ආරම්භ නොකරන්න
භාවිතා කරන සියලු බෙහෙත් ගැන වෛද්‍යවරයාට කියන්න“ස්වභාවික” නිසා ආරක්ෂිතයි කියලා හිතන්න එපා
ගැටලුවක් තිබේ නම් උපදෙස් ගන්නඅන්තර්ජාල උපදෙස් මත පමණක් තීරණ ගන්න එපා

නිවසේදී සුවය ලබන රෝගියෙකුගේ දිනක සාමාන්‍ය සැලැස්ම

ඩෙංගු රෝගියෙකුගේ සෑම දිනක්ම එක වගේ නොවිය හැක. නමුත්, බොහෝ දිනවල පහත දේවල් සිදු විය යුතුය:

  • ප්‍රමාණවත් ලෙස දියර පානය කිරීම
  • රෝගියාට දරා ගත හැකි ආහාර ගැනීම
  • විවේක ගැනීම
  • තත්ත්වය නිරීක්ෂණය කිරීම
  • නියමිත බෙහෙත් ගැනීම
  • ඊළඟ වෛද්‍ය පරීක්ෂාවේ වේලාව මතක තබා ගැනීම
💪
ප්‍රායෝගික උපදෙස සුවය ලැබීම ක්‍රමයෙන් සිදුවන ක්‍රියාවලියකි. අද ඊයේට වඩා ටිකක් හොඳ වීමත් හොඳ ප්‍රගතියකි.

රුධිර පරීක්ෂණ ප්‍රතිපල වලට වඩා රෝගියාගේ විස්තරය වැදගත්ය

බොහෝ පවුල් FBC වාර්තාව, විශේෂයෙන් රුධිර පට්ටිකා සංඛ්‍යාව ගැන පමණක් අවධානය යොමු කරයි. නමුත්, වෛද්‍යවරයා ඒ සමඟම රෝගියාගේ රෝග ලක්ෂණ, සජලන තත්ත්වය, මුත්‍රා පිටවන ප්‍රමාණය, අනතුරු ඇඟවීමේ ලක්ෂණ, සහ ශාරීරික පරීක්ෂාව ද එකට සලකා බලයි.

ඩෙංගු ගෙදරදී ප්‍රතිකාර කිරීමේ පදනම වන්නේ ප්‍රමාණවත් දියර, සුදුසු ආහාර, විවේකය, වෛද්‍ය උපදෙස්, සහ දිනපතා නිරීක්ෂණයයි.